සමාජ

ගබ්සාව නීතිගත කිරීමට හේතු වූ වෛද්‍යවරිය

ගබ්සාව නීතිගත කිරීමට හේතු වූ වෛද්‍යවරිය

සවීතා: අයර්ලන්තයේ ගබ්සාව නීතිගත කිරීමට හේතු වූ ඉන්දීය ජාතික වෛද්‍යවරිය

ඇයගේ කතාව අයර්ලන්තය තුළ මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් විය; ඇයගේ මුහුණ එම උද්ඝෝෂණවල සංකේතය බවට පත් විය.

සිය පළමු දරුවා ගබ්සා වීමෙන් පසු බැක්ටීරියාවක් ශරීරගත වීමෙන් 2012 ඔක්තෝබර් මස දිනක ‘සවීතා හලප්පනවාර්’ (Savita Halappanavar) අයර්ලන්ත රෝහලක දී අවසන් සුසුම් හෙළුවාය.

ගබ්සාව සිදු වූ පසු ඇය රෝහල් කාර්යමණ්ඩලයෙන් ඉල්ලා සිටියේ කලලය ඉවත් කරන ලෙසය. නමුත් ඒ වන විට ද කලලයෙන් හුස්ම වැටෙන බව පවසා එය ඉවත් කිරීම ඔවුන් ප්‍රතික්ෂේප කළ බව ඇයගේ පවුලේ සාමාජිකයෝ පවසති.

ජාත්‍යන්තර අවධානය යොමු වූ සවීතා හලප්පනවාර්ගේ මරණය අයර්ලන්තයේ ගබ්සාව සම්බන්ධයෙන් පැවතුන නීති වෙනස් කිරීමට ද හේතු විය.

ගබ්සා නීති වෙනස් කිරීම සම්බන්ධයෙන් පසුගියදා පැවති ජනමත විචාරණයේ දී අයර්ලන්ත ජාතිකයන්, ගබ්සාව නීතිගත කිරීමට සහාය පළ කරමින් සිය ඡන්දය භාවිත කිරීම නිසා “ඇයට සමාදානයේ සැතපීමට” හැකි බව සවීතාගේ දෙමාපියෝ පවසති.

දන්ත වෛද්‍යවරියක් ලෙස සේවය කළ, තිස් එක් හැවිරිදි ඉන්දීය ජාතික සවීතාගේ මරණය අයර්ලන්තයේ විශාල සමාජීය වෙනසක් ඇති කිරීමට සමත් විය.

අයර්ලන්තයේ ‘ගැල්වේ’ රෝහලට ඇතුළත් කරන විට සවීතා සති 17ක ගැබිණියක වී සිටියාය.

ඇයගේ අනපේක්ෂිත මරණය සිදු වී සය වසරකට ආසන්න වුවත්, ඡන්දදායකයන්ගේ තීරණය වී ඇත්තේ අයර්ලන්ත ව්‍යවස්ථාවෙන් ගබ්සා තහනම ඉවත් කළ යුතු බවය. එමෙන්ම, නව නීතිය ‘සවීතාගේ නීතිය’ ලෙස නම් කරන මෙන් ඔවුහු ඉල්ලා සිටිති.


අයර්ලන්ත ජාතිකයන් ගබ්සාව නීතිගත කිරීමට සහාය පළ කරමින් සිය ඡන්දය භාවිතා කිරීම නිසා “ඇයට සාමදානයේ සැතපීමට” හැකි බව සවීතාගේ දෙමාපියෝ පවසති.

ඉන්දියාවේ බෙල්ගොම්හි ජීවත් වන සවීතාගේ මව, අක්කා මහදේවි යේලාගි (Akkamahadevi Yelagi) පැවසුවේ ජනමත විචාරණයේ ප්‍රතිඵලය ඔවුන්ගේ දියණිය වෙනුවෙන් ලැබූ “ජයග්‍රහණයක්” බවය.

“එය සය වසරක සටනකින් පසු ලැබූ ජයග්‍රහණයක්. ඇයගේ ආත්මය දැන් සමාදානයේ සැතපේවි,” යනුවෙන් මව සඳහන් කළාය.

“මගේ දියණිය වෙනුවෙන් සටන් වැදුණු සියලු දෙනාට මම ස්තුතිවන්ත වෙනවා,” අක්කාමහදේවි යේලාගි බීබීසී මරාති සේවයේ වාර්තාකාරිනී ස්වාති පටිල්-රාජ්ගොල්කාර් (Swati Patil-Rajgolkar) සමග පැවසීය.

අයර්ලන්ත නව නීතිය ‘සවීතාගේ නීතිය’ ලෙස නම් කිරීම වෙනුවෙන් සිය සහාය පළකරන බව සවීතාගේ පියා, අන්දනප්පා යාල්ගි වෙනත් මාධ්‍යවලට පවසා තිබුණි.


සවීතාගේ පියා අන්දනප්පා යාල්ගි

අයර්ලන්ත ව්‍යවස්ථාවේ අටවෙනි සංශෝධනය ඉවත් කිරීම උදෙසා පසුගිය සිකුරාදා ජනමත විචාරණයක් පැවැත්වුණි. එකී සංශෝධනයේ සඳහන් වන්නේ නූපන් දරුවාට ද ගර්භණී කාන්තාවට හා සමාන අයිතිවාසිකම් තිබෙන බවය. කෙසේ වෙතත් මෙම සංශෝධනය ඉවත් කර ගබ්සාව නීතිගත කරන ලෙස ඉල්ලා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලැබී තිබේ.

අටවෙනි සංශෝධනය අනුව අයර්ලන්තයේ ගබ්සා සිදු කිරීම තහනම් ක්‍රියාවක් වී තිබිණි. නමුත් දරු ගැබෙන් මවගේ ජීවිතයට හානියක් සිදු වේ නම් ගබ්සාව සිදු කිරීමට අවසර ඇත.

ගබ්සාව නීතිගත කිරීමට සහාය දැක්වූ පිරිස් මෙම ජනමත විචාරණයෙන් ලැබූ ජයග්‍රහණයත් සමග ‘සවීතා’ ලෙස මොර දෙමින් ප්‍රතිඵල නිවේදනය කළ ඩබ්ලින් මාලිගාව අසල රැස් වී සිටියහ.

ඇයගේ රුව නගර මධ්‍යයේ බිත්තියක සිතුවම් කිරීම මෙම සටනේ අද්විතීය පියවරක් ලෙස දැක්විය හැකිය.


ඇයගේ රුව නගර මධ්‍යයේ බිත්තියක සිතුවම් කිරීම මෙම සටනේ අද්විතීය පියවරක් ලෙස දැක්විය හැකිය.

ගබ්සාව නීතිගත කිරීමට සහාය පළ කරමින් ඡන්දය ලබා දීමට ඇයගේ මරණය හේතු වූවා යැයි සඳහන් කුඩා කොළ කැබලි සහ මල් කළඹ බිත්ති සිතුවම වටා තැබීමට බොහෝ පිරිස් කටයුතු කළහ.

“සමාවෙන්න. අපි හුඟක් පරක්කු වැඩියි. නමුත් අපි දැන් මෙතන සිටිනවා. අපි ඔබ අමතක කළේ නැහැ,” එක් කොළ කැබැල්ලක සටහන් වී තිබුණි.

ගබ්සා වීමෙන් පසුත් කළලයෙන් හුස්ම පිට වෙනවා යැයි පැවසූ රෝහල් කාර්යමණ්ඩලය එය ඉවත් කිරීමට කටයුතු නොකළ බව සවීතාගේ සැමියා පැවසීය.

අයර්ලන්ත කාර්යමණ්ඩලය මෙය “කතෝලික රටක්” ලෙස තමන්ට එම අවස්ථාවේ පැවසූ බව ඔහු තවදුරටත් පැවසුවේය.

නමුත් 2013 දී සවීතාගේ මරණය සම්බන්ධයෙන් පැවැත්වූ පරීක්ෂණයේ දී ඇයගේ වින්නඹු මාතාව ඉහත ප්‍රකාශය කිරීම ගැන සමාව ඉල්ලා සිටියාය. අයර්ලන්තය ගැන නොදන්නා කෙනෙකුට එහි තත්වය පහදා දීමේ පරමාර්ථයෙන් ඇය එසේ පවසා තිබුණි.

සවීතා රෝහල්ගතව සිටි මුල් දින තුන ඇතුළත දරු ගැබ ඉවත් කළේ නම් ඇය ජීවත් වීමට ඉඩ තිබුණ බව අයර්ලන්තයේ ප්‍රමුඛ පෙළේ නාරි හා ප්‍රසව වෛද්‍යවරයෙකු පැවසීය.

නමුත් ඒ වන විට “ඇයගේ ජීවිතය දැඩි අවදානමක නොතිබූ නිසා” අයර්ලන්ත ගබ්සා නීතිය අනුව එම අවස්ථාවේ කලලය ඉවත් කිරීම නීති විරෝධී ක්‍රියාවක් වන්නට ඉඩ තිබූ බව අයර්ලන්ත ජාතික මාතෘ රෝහලේ හිටපු ප්‍රධානී වෛද්‍ය පීටර් බොයිලන් පැවසුවේය.

ඇයගේ ජීවිතය අවදානම් තත්වයකට හැරෙන විට දරු ගැබ ඉවත් කර ජීවිතය බේරා ගැනීමට ප්‍රමාද වැඩි වී තිබුණි.

කම්පනය, ලේ ගමනාගමන පද්ධතියේ ඇති වූ සංකූලතා සහ සති දාහතක් වැඩුණු දරු ගැබ ගබ්සා වීම ඇයගේ මරණයට හේතු ලෙස මරණ පරීක්ෂණ වාර්තාවේ දැක්වේ.


BBC සිංහල සේවයෙන්

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි