ප්‍රචාරණ සටහන්

නංගිව බේරාගන්න ඇඳුම් මහලා ලක්ෂ 35ක් හොයන යකඩ හිතක් තියෙන කෙල්ලෙක්

නංගිව බේරාගන්න ඇඳුම් මහලා ලක්ෂ 35ක් හොයන යකඩ හිතක් තියෙන කෙල්ලෙක්තම බාල සොහොයුරිය සුවපත් කරන්නට තාරුණ්‍යය මැෂිමට ලියා දී සන්නාලියක් වූ දිරිය සොයුරියක් මීගොඩ ප්‍රදේශයේදී අපට හමුවිය. ජීවිතය යනු හුදෙක් මල් පොකුරක් හෝ හුදෙක් කටු අත්තක් නොවන වග චතුරිකා ප්‍රියදර්ශනී නම් වූ මේ සොඳුරු සන්නාලියගේ ජීවිතය මොනවාට විද්‍යමාන කරන්නේය.

දියණියන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා චතුරිකාය. චතුරිකාගේ පවුලට කණකොකා, හඬන්නේ 2010 වසරේදීය. පවුලේ බාලම දියණිය නිසංසලා සෙව්වන්දිට වයස 2 සපිරෙද්දීය. ටිකෙන් ටික වෙනස් වන ඇගේ සිරුර පිළිබඳ අවධානය යොමු කරමින් වෛද්‍යවරු හමුවට දැරිය රැගෙන ගිය විට “දැරිය කොඳු ඇට පෙළ ඇද වීමේ රෝගයට ගොදුරු වෙලා. අවුරුදු කීපයක් ඇදවෙලා නවතීවි. එතැනින් එහාට පිළියමක් නැහැ. මේ ලෙඩේ දැන් සාමාන්‍ය තත්ත්වයක්. ඒත් ප්‍රතිකාර නෑ….” යැයි මාතර මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරු නිසංසලා වෙනුවෙන් නිගමනයක් ලබා දුන්නා.

බටහිර වෛද්‍ය ක්‍රමයෙන් දේශීය ක්‍රමයටත් තෙරපි ක්‍රමයටත්, යළිත් බටහිර වෛද්‍ය ක්‍රමයටත් ආදී වශයෙන් ඔවුන් දැරියට සුවය පතා නොකළ ප්‍රතිකර්මයක් නැත. නොපෙනෙන දෙවියන් පවා යදින්නට විය. අවසානයෙන් ඔවුන්ට බලාපොරොත්තු දල්වා ගත හැකි පිළිතුරක් ලැබිණ. ඒ ඉන්දියාවට රැගෙන ගොස් මෙය සුවපත් කරගත හැකි බවයි. එසේ සුවපත් වූ එවැනිම රෝගීන් මුණ ගැසෙන්නටද ඔවුන්ට අවකාශය ලැබිණ. ඇපලෝ රෝහලේ ශල්‍ය වෛද්‍යවරු දෙපළක් වන වෛද්‍ය සාජාන් කේ. හේජ් සහ වෛද්‍ය ඇකී (Dr. Sajan K. Hegde, Dr. Aki) නිසංසලා පරීක්ෂා කර බලා ඇයගේ කොඳු ඇට පෙළ ශල්‍යකර්මයක් මගින් සුවපත් කළ හැකි බවත්, ශල්‍ය කර්මය සඳහා රුපියල් ලක්ෂ 20ක මුදලක් වැය වන බවත්, සිය වියදම් සඳහා ලක්ෂ 35ක් පමණ වැයවන බවත් නිර්දේශ කළහ. එසේ ඇපලෝ හි කළ ශල්‍යකර්මයන් සුවවූවන් පවා මොවුන්ට කීවේ මෙම සූක්ෂ්ම ශල්‍යකර්මය ඉතා සාර්ථක එකක් යැයි කියාය.

ලංකාවේ වෛද්‍යවරු විසින් අත්හැර දමන තැනට පොලඹවනු ලැබූ රෝගයේ සුවය වෙනුවෙන් ඔවුන් බලාපොරොත්තු දල්වා ගනිද්දී හෘද රෝගීයකු වූ මවත්, මුරකරුවකු වූ පියාත් අසරණ වන්නේ කෙසේ නම් මේසා විශාල මුදලක් සොයාගන්නේද යන ගැටලුව ඉදිරියට ආ නිසාය. අපගේ කතා නායිකාව චතුරිකා ප්‍රියදර්ශනී අධ්‍යාපනය නිමාකර සන්නාලි වෘත්තියට එන්නේ කෙසේ හෝ අවශ්‍ය මුදල මැෂිම පාගා උපයා දී තම නැගණිය සුවපත් කරන්නට දිරිය අක්කා කෙනෙකුගේ වගකීම කර මතට ගැනීමටය.

“මදුෂා ටේලර්ස්” නමින් නො.45, ගොඩගම, පාදුක්ක ලිපිනයේ පුංචි ව්‍යාපාරයක් අරඹන චතුරිකා, මවත්, නැගණියත් හවුල් කරගෙන එතැන් පටන් ශල්‍යකර්මය වෙනුවෙන් ඇඳුම් මසන්නීය.

මේ අතර ලංකාවේ පැවැති “Skill Competition” හි අවසන් වටයෙන් දක්ෂතම ඇඳුම් මසන්නියට හිමි පළමු ස්ථානය පවා හිමිකර ගනිමින් දක්ෂ සන්නාලියක වූවාය. කෙසේ හෝ ලක්ෂ 38 උපයා නැගණිය ඇපලෝ රෝහලේ සිදු කරන ශල්‍යකර්මයට ගෙනයන තිර අදිටනින් ඇය පාරිභෝගිකයන්ගේ ඕනෑම මනාපයකට ඕනෑම නම විලාසිතාවකින් නිර්මාණශීලීව ඇඳුම් මැසුවාය. දළදා මාළිගාවෙන් රුපියල් 50,000ක්, පෞද්ගලික ආයතනයකින් ලක්ෂ 2ක් හා ජනාධිපති අරමුදලින් ලක්ෂ දෙකක් ආකාරයට ආධාර කිහිපයක් ඇයට ලැබෙන්නේ ඒ උනන්දුවේ හා කැපවීමේ ප්‍රතිඵල මතය.

මේ අතර ඔවුන් ටිකට් පොත් මුද්‍රණය කර අලෙවි කරන්නටද සූදානම් විය. ලංකාවේ ටිකට් පොත් මාෆියාවෙන් රෝගීන් අතකොලු බවට පත් කර ගන්නට මාන බලන හොර ජාවාරම්කරුවන්ගේ ඇස මේ දිරිය පවුල වෙත යොමු වීමත් සමග ඔවුහු ටිකක් පොත් පිළිබඳ වූ ආශාව අත්හැර ගත්හ. දවසට රුපියල් 4000ක් දෙන්නම්. අපි රට පුරා ටිකට් විකුණනවා. වෛද්‍ය වාර්තා සහිත ලිපි ගොනුව අපිට දෙන්න….” යැයි ජාවාරම්කරුවන් මොවුන්ට බලකරන්නට විය. නමුත් ඒ කිසිවකට ඔවුන් හසුවූයේ නැත. චතුරිකා ටිකට් මාෆියාවට රැවටී නැගණියගේ රෝගය විකුණන්නට පෙලඹුනේද නැත. ඇය තවමත් ඇඳුම් මසන්නේ සැත්කම වෙනුවෙන්මය.

ඔබගේ උපකාර කොමර්ෂල් බැංකුවේ හෝමාගම ශාඛාවේ 8750051549 දරන ගිණුම් අංකයට යොමු කිරීමෙන් හෝ 0717655270 දරන අංකය අමතා ලබාදීමට හැකියාව ඇත. ජීවත් වන්නන් වාලේ ජීවත් වනවාට වඩා යමක් කිරීමෙන් ලබන සංතෘප්තිය කෙලෙස දැයි ඔබත් එවිට අත්විඳිනු නොඅනුමානය.

-චාමිකා මුණසිංහ-
(උපුටා ගැනීම ඇපල් පත්තරයෙන්)


මෙම සටහන අපගේ වෙබ් අඩවියේ අන්තර්ගතයන්ට අදාළ නොවන නමුත් ජීවිතය යදින කෙනෙක් වෙනුවෙන් කල යුතුකමක් බව ආදරයෙන් මතක් කර සිටින්නෙමු.

එබැවින් ඔබද මෙම සටහන share කර ඔබගේ යුතුකම ඉටු කරනු ඇතැයි අප අපේක්ෂා කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *