සමාජ

මීගමුව සිනමාහල්වල පෙම්වතුන්ට ටෝච් ගහලා

ආදරය ගැන අපි හැමෝම කතා කරනවා. ඒ වගේම තමයි ආදරයේ නිදහස් පිලිබදවත් අපි නිරතුරුව කතා බහට ලක් කරනවා. ආදරය ගැන අපි කොතරම් කතා කරත් ආදරය ගැන කොතරම් කවි, සිංදු නිර්මාණ ලිව්වත් ආදරය සම්බන්ධ දේවල් රටින් රටට වෙනස්වෙන අවස්ථා තියෙනවා. උදාහරණෙකට ලංකාව වගේ රටක පෙම්වතුන් යුවලක් ප්‍රසිද්ධ ස්ථාන වල හැසිරෙනවට වඩා බටහිර රටක යුවලක් හැසිරෙන විදිහේ වෙනසක් තියෙන්න පුලුවන්. ඒ වගේම ආදර සම්බන්ධ වලත් ආසියාතික රටවල්වලට වඩා බටහිර රටවල සම්බන්ධවල වෙනසක් තියෙනවා. සංස්කෘතිය පිලිබදව වඩාත් හිතන අපේ වගේ රටවල් වල ප්‍රසිද්ධ ස්ථානවල සාමාන්‍යයෙන් පෙම්වතුන් සිප ගැනීමක් පවා සිදු කරන්නේ නෑ. හැබැයි උද්‍යානයක හෝ වැව රවුමක පෙම්යුවලක් සිප ගත්තට ලොකු ගැටළුවක් ඇතිවෙන තරමටම අපේ රටේ සංස්කෘතියේ බාධාවක් ඇති වෙන්නේ නෑ. ඒ වගේම ප්‍රසිද්ධ තැනක සිප ගැනීමක් කලත් එයට අන්තවාදී විදිහටම ඇතැම් රටවල වගේ ලංකාවේ විරුද්ධවීමක් දකින්න ලැබෙන්නේ නෑ. හැබැයි මීට වසර ගනනාවකට පෙර එනම් 1990 වගේ කාලෙදි විශේෂයෙන් මීගමුව නගරය ආශ්‍රිතව පෙම්වතුන් සම්බන්ධව යම් විදිහක අන්තවාදී විදිහට නීති ක්‍රියාත්මක වෙලා තියෙනවා.

1990 දශකය ආරම්භයෙදි මීගමුව රාජපක්ෂ උද්‍යානය, මීගමු වෙරළ, කලපුව ආශ්‍රිත පෙදෙස් පෙම්වතුන්ට තහනම් කලාප බවට පත් කරලා තියෙනවා. ඒ වගේම එවකට පැවති රීගල්, කිංග්ස් වගේ සිනමා ශාලා වල බොක්ස් හා බැල්කනි වල සිටින පෙම්වතුන්ව හිටි හැටියෙම ටෝච් ගසා චෙක් කරන වොචර්ලත් ඉදලා තියෙනවා. මෙය සෑම සෙනසුරාදා දිනකම පෙම්වතුන්ව විශාල වශයෙන් අත්අඩංගුවට ගැනීම දක්වාම ඇදි ගොස් තිබෙන අතර බස් නැවතුම්පලවල පවා නිතරම පෙම්වතුන්ට අවවාද කිරීමටත් ටයිම් කීපර්ලා හා සෙකියුරිටිලා ඉදලා තියෙනවා. කොහොම උනත් අසාමාන්‍ය විදිහට පෙම්වතුන්ට නීති මගින් කටයුතු කරන්න යද්දි මේවට විරුද්ධව මීගමුවෙන්ම අපුරු පුද්ගලයෙක් ඉදිරිපත් උනා. ඔහු වෙන කවුරුත් නෙමේ ලංකාවේ පළමු කතා නාද චිත්‍රපටය උන කඩවුනු පොරොන්දුව චිත්‍රපටයෙහි රගපෑ හියුගෝ ප්‍රනාන්දුගේ පුත් බ්‍රිටෝ ප්‍රනාන්දු තමයි පිරිස් එකතු කරන් මේ වැඩේට බැස්සේ.

ඒ කාලේ නව සම සමාජ පක්ෂයේ මීගමුව සංවිධානයක උන ඔහු මීගමුව බස් නැවතුම්පලවල්වල, රාජපක්ෂ උද්‍යානය තුල, වෙරළ තීරයේ වගේම මිනිසුන් ගැවසෙන තැන්වල පෙම්වතුන්ගේ මානවහිමිකම් කැඩීමට විරුද්ධව උද්ඝෝෂන කලා. ඔවුන් මේ උද්ඝෝෂන කලෙත් හරි අපුරු විදිහට. පෙම්වතුන් මෙලෙස හිටි හැටියේ අත්අඩංගුවට ගැනීමට විරුද්ධව පත්‍රිකා බෙදන මොවුන් ඩොල්කි, ගිටාර් ගසමින් සිංදු කියමින් තමයි මේ උද්ඝෝෂන කලේ. ලංකාවේ මානව හිමිකම් පිලිබදව එතරම් කතා බහට ලක්නොකල යුගයක බ්‍රිටෝ ප්‍රනාන්දුගේ මේ මැදිහත්වීම ඒ කාලේ ඉහලින්ම කැපී පෙනුනා. ඒ වගේම නිදහසේ වේදිකාව නමින් රාජ්‍ය නොවන සංවිධාන එකතුව විසින් සංවිධානය කල උත්සවයකදි රනිල් වික්‍රමසිංහ පවා කතාවක් පවත්වමින් නිදහසේ වේදිකාව මිනිස්සුන්ගේ මානව හිමිකම් රකින හැටි ඉගැන්වුවේයැයි පැවසුවේද බ්‍රිටෝ ප්‍රනාන්දු හා ඔහු වටා සිටි පිරිස්වල එකල ක්‍රියාකාරිත්ව දුටු නිසයි.

නමුත් පොලිසිය විසින් මේ අත්අඩංගුවට ගැනීම් දිගින් දිගටම කරගෙන ගොස් තිබුනු අතර ඔවුන් පවසා තිබුනේ කටුනායක නිදහස් වෙළදපලට එන තරුනියන් තරුණයන් අතින් අමාරුවේ වැටෙන බවත් මීගමුව නගරයට පන්ති යෑමට පැමිනෙන සිසුවියන්ද මෙසේ තරුණයන් අතින් අමාරුවේ වැටෙන නිසා මෙවන් නීති ක්‍රියාත්මක කරන බවයි. එමෙන්ම අසෝබන ලෙස හැසිරෙන පෙම්වතුන් නිසා කුඩා දරුවෙකුට පවා මීගමුව වෙරළතීරයට යෑමට නොහැකි තත්වයක් පවතින බවත් ඔවුන් දන්වා සිටියා. මේ අතර පොලිසිය විසින් පෙම්වතුන් 400 ක පමණ පිරිසක් එකවර අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කර තිබුනු අතර බ්‍රිටෝ ප්‍රනාන්දු ඇතුලු නව සමාජ පක්ෂ ක්‍රියාකාරීන් පිරිස මෙයට විරුද්ධව මීගමු උසාවිය අසල දැවැන්ත උද්ඝෝෂනයක්ද පවත්වා ඇත.

මේ සමයේ සන්ෆලවර් සංගීත කණ්ඩායමෙන් අපුරු ගීතයක්ද එලි දැක්වුනු අතර එය අදටත් බොහෝ සේ ජනප්‍රියයි. ” කෝඩුකාර නංගිලාට කෝඩුකාර මල්ලිලාට අහන් ඉන්න හොද ප්‍රවෘත්තියක්.. මේ තරුණ වයසේ ආදරේට හරස් කපලා සෝබනේට වැඩිහිටි අය දාලා පොඩි ලෙඩක්.. මේවා හොදට හිතට ගන්න ගනන් ගන්න එපා හොදද ඊරිසියාව හින්දා කල වැඩක්..ඔය ඕවා වැඩද තරුණ අයට ප්‍රේම කරමු වැඩිය හොදට මේක ප්‍රේම පැරඩයිස් එකක්.. ” කරුණු කාරණා එසේ වද්දි කෙසේ හෝ බ්‍රිටෝ ප්‍රනාන්දු ඇතුලු සමාජ ක්‍රියාකාරීන්ගේ උත්සහය මල් ඵල ගන්වමින් අවසානයේ මීගමුව උසාවියේ මහේස්ත්‍රාත්වරයා විසින් පෙම්වතුන් මෙලෙස නිකරුනේ අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බව පෙන්වා තීන්දු කර ඇත. පසුව මීගමුවේ පෙම්වතුන්ට නිදහසේ පෙර මෙන් සැරිසැරීමට අවස්ථාව හිමි උන අතර පෙම්වතුන් අත්අඩංගුවට ගැනීමට නැවතී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × 5 =

සබැඳි ලිපි

Back to top button
Close