සෞඛ්‍ය

මඳ සරු බව නැතිකර ගමු

විවාහ වී දරුවකු පතන යුවලක්‌ ඔවුන් අපේක්‍ෂා කරන මාසයේදී දරු පිළිසිඳගැනීම සිදු නොවන්නේ නම් එය මඳසරු බව ලෙස ආයුර්වේදයේ හඳුන්වනු ලැබේ. වර්තමානයේදී වෛද්‍යවරු කාන්තාවක මඳසරු බවින් පෙළෙන්නේදැයි කියා තීරණය කරන්නේ විවාහ වී වසරක්‌ ගතවීත් කිසිදු උපත් පාලන ක්‍රමයක්‌ භාවිත නොකර කායික සම්බන්ධතා පැවැත්වුවද පිළිසිඳ ගැනීමක්‌ නොවේ නම්ය.

ඒ අනුව විවාහ වී දරුඵල අපේක්‍ෂා කළද එය නිසි කලට හිමි නොවූ සියලුම කාන්තාවන් මඳසරු බවින් පෙළෙන බව අනුමාන කළ හැකිය.

එපමණක්‌ද නොව දරුඵල ඇතත් යළිත් දරු පිළිසිඳ ගැනීමක්‌ බලාපොරොත්තු වන එහෙත් එම අවස්‌ථාව නිසි කලට හිමිකරගත නොහැකි නම් එය ද මඳ සරු බව නිසා මතුවන තත්ත්වයක්‌ බව අවබෝධ කරගත යුතුය.

මඳ සරු බවට බලපාන හේතු

කාන්තාකට මඳ සරු බව ඇතිවීමට හේතු ගණනාවක්‌ බලපායි. එය ආහාරමය, විහරණ සහ මානසික යන හේතු ලෙස ප්‍රධාන කොටස්‌ තුනකට වෙන් කළ හැකිය.

ආහාරමය හේතු

යම් කාන්තාවක නිසි පෝෂණයෙන් යුතුව නොසිටියහොත් ඇයගේ සිරුර තුළ දරුවකු පිළිසිඳ ගැනීමට අවශ්‍ය නිසි පරිසරය සකස්‌ නොවේ.

දරුවකු පිළිසිඳ ගැනීම සඳහා සිරුර තුළ සම්පූර්ණ විය යුතු කරුණු හතරක්‌ ඇත. එනම් සරු ඔසප් චක්‍රයක්‌ පැවතීම හා එම සරු කාලයේදී කායික සම්බන්ධතා පැවත්වීම, ඉතා නිරෝගී ප්‍රජනන ඉන්ද්‍රිය පද්ධතියක්‌ තිබීම, නිසි පෝෂණයෙන් යුක්‌ත වීම සහ නිරෝගී කාන්තා සහ පුරුෂ බීජ පැවතීමය.

මෙම කරුණු හතර සම්පූර්ණ නම් අපාන වාත ක්‍රියාකාරිත්වය තුළින් එම කරුණු හතර එකිනෙක හා සම්බන්ධ කර දරු ඵලයක්‌ සඳහා අවශ්‍ය පසුබිම සකස්‌ කරයි.

එනම් නිවැරදි ඔසප් චක්‍රයක්‌ පවත්වාගෙන යැමට අවශ්‍ය පසුබිම සැකසීම තුළින් ඩිම්බ නිසි කලට පිට කිරීමට අවශ්‍ය පියවර ගැනීම ඉන් පසු එම ඩිම්බ නිසි ලෙස පුරුෂ බීජ සමඟ එක්‌වීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම සඳහා නිසි පෝෂණ තුළින් නිරෝගී ප්‍රජනන පද්ධතියක්‌ නිර්මාණය කිරීම සහ සරු කාන්තා සහ පුරුෂ බීජ නිෂ්පාදනය කිරීමට දායකවීම අපාන වාත ක්‍රියාකාරිත්වය තුළින් සිදුකරයි.

මෙම කටයුතු සිදුකිරීම සඳහා අපාන වාතයෙහි පවතින චලගුණය උපයෝගි කරගනු ලැබේ.

එබැවින් නිසි පෝෂණයෙන් යුතු ආහාර ගැනීමට සෑම කාන්තාවක මෙන්ම පිරිමියකුම අවධානය යොමු කළ යුතුය. විශේෂයෙන්ම තෙල් අධික ආහාර, උෂ්ණාධික ආහාර, විනාකිරි, ලුණුමිරිස්‌, මිරිස්‌ අධික ආහාර නිතර නිතර ගැනීමෙන් වැළකිය යුතුය.

ධාන්‍ය, පලා වර්ග, එළවළු, පිෂ්ඨය, මේදය, පලතුරු සහිත සමබල ආහාර වේලක්‌ දිනපතා ගැනීමට හුරුපුරුදු විය යුතුය. එහිදී අධික මිල සහිත ආහාර වර්ග පලතුරු වර්ග ගත යුතු නැත. ඉතා උසස්‌ පෝෂණ ගුණයක්‌ සහිත එළවළු පලතුරු ඉතා අඩු මිලට ලබාගත හැකිය.

කෘත්‍රිම රසකාරක සහිත බීම වර්ග සහ ක්‍ෂණික ආහාර ගැනීම සම්පූර්ණයෙන් නවතා දැමිය යුතුය.

විහරණමය හේතු

නිසි දරු ඵලයක්‌ සඳහා කාන්තාව මෙන්ම පිරිමියා ද නිරෝගි දිවියක්‌ ගත කළ යුතුය. අධික වෙහෙසකර ජීවිතයක්‌ ගතකරන විට සරු බීජ හට නොගනී. එබැවින් දරුවකු බලාපොරොත්තු වන කාන්තාවන් පිරිමින් එම කාලය තුළ අධික උෂ්ණය සහිත ස්‌ථානවල රැකියා කිරීම, නිතර එක්‌aස්‌කිරණ සිරුරට නිරාවරණය වන රැකියාවල නිරතවීම, පරිගණක ආශ්‍රිත රැකියාවල දීර්ඝ ලෙස නිරතවීම, තද යට ඇඳුම් සහ අපිරිසිදු යට ඇඳුම් ඇඳීම වැනි වැරදි විහරණවලින් වැළකිය යුතුය.

නිතරම සැහැල්ලු අයුරින් දිවි ගත කිරීමටත් යහපත් සනීපාරක්‍ෂක පුරුදු පිළිපැදීමටත් හුරුවිය යුතුය.

මානසික හේතු

දරු ඵලයක්‌ ලබාගැනීම සඳහා තිබිය යුතු යහපත් මානසික තත්ත්වය සම්පූර්ණ වන්නේ සෘතු, ක්‍ෂේත්‍ර සහ අම්බු යන කරුණු සම්පූර්ණ වීමෙන් බව ආයුර්වේදයේ හඳුන්වා ඇත.

සෘතු යනු සරු කාලයයි. ක්‍ෂෙත්‍ර යනු නිරෝගී ප්‍රජනන පද්ධතියක්‌ තිබීමයි. අම්බු යනු හෝමෝනවල සමතුලිත බවයි. මෙම කරුණු සම්පූර්ණ වන්නේ යහපත් මානසික තත්ත්වයක්‌ පැවැති විටදීය. ඒ සඳහා මනස සන්සුන්ව තබාගැනීම, යහපත් සිතුවිලිවලින් යුතුව කටයුතු කිරීම, ආගම දහමට අනුව දිවි ගෙවීම ආදිය කළ යුතුය.

මඳ සරු බවට ප්‍රතිකාර

දරු ඵලයක්‌ සඳහා සුදුසුකම් පවතින වයස අවුරුදු 16 ත් 50 ත් අතර වියේදී ඇතිවිය හැකි මඳ සරු බවට ප්‍රතිකාර ක්‍රම ආයුර්වේදයේ ඉතා බහුලය. එය මඳ සරු බවට හේතු හඳුනාගෙන සිදුකළ යුතුය.

ප්‍රතිකාර කිරීමේදී බාහිර ඖෂධ සහ සිරුර අභ්‍යන්තරයට සිදුකරන ඖෂධ ලෙසින් ප්‍රතිකාර ක්‍රම සිදුකළ හැකිය. විශේෂයෙන්ම දරුඵල නොමැතිව දීර්ඝ කාලයක්‌ තිස්‌සේ පීඩා විඳින කාන්තාවන්ට ඉතා සාර්ථක ප්‍රතිඵල ලබාදීමට සමත් “උත්තර වස්‌ති” ප්‍රතිකාරය ද ආයුර්වේදයේ ඇත. මෙම ප්‍රතිකාරය සිදුකළ යුත්තේ පළපුරුදු වෛද්‍යවරයකු විසිනි. එසේම ප්‍රතිකාරය සිදුකරන ශල්‍යාගාරය නිසි ප්‍රමිතියෙන් යුතුව තිබිය යුතුය. හොඳින් ජීවානුහරණය කළ ශල්‍යාගාරයක මෙම ප්‍රතිකාරය කළයුතු අතර එය නිවැරදිව සිදු නොකළහොත් ප්‍රතිකාරයට යොමු වූ කාන්තාව එම මොහොතේම වුව මරණයට පත්විය හැකිය. නමුත් පළපුරුදු වෛද්‍යවරයකු යටතේ නිසි ශල්‍යාගාරයක සිදුකිරීමෙන් දරු ඵල නැතිව කල් ගත වූ මඳ සරු බවින් යුතු කාන්තාවන්ට පවා සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිය. එය ශ්‍රී ලංකාවේ ද සාර්ථකව සිදුකරනු ලැබේ.


ආචාර්ය වෛද්‍ය දයානි සිරිවර්ධන
කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ
ප්‍රසව හා නාරි රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

13 + ten =

සබැඳි ලිපි

Back to top button
Close