දැනුම

කොල්ලන්ගේ වෘෂණ කෝෂ පහතට එල්ලා වැටෙන්නේ නැතිනම් ඔපරේෂන් කරන්න ඕනෙද…?

කුඩා පිරිමි දරුවන්ගේ වෘෂණ කෝෂ පහතට නොවැටීම අද බොහෝවිට දකින්නට ලැබෙන තත්වයක්. මේ තත්වය අපේ රටේ බොහෝ දෙනෙක් හඳුනා ගන්නේ ප්‍රමාද වෙලා. නමුත් දරුවා කුඩා කාලයේදීම ඒ සඳහා අවශ්‍ය වන ක්‍රියාමාර්ග ගන්නවා නම් දරුවාට ඒක අනාගතයේදී ගැටළුවක් වෙන්නේ නැහැ.

මෙවැනි අවස්ථාවකදී ඒ සඳහා ශල්‍යකර්මයක් කර නිසි තත්ත්වයට ගැනීම මගින් වෘෂණවල ක්‍රියාකාරිත්වය ද යථා තත්ත්වයට පත්කර ගන්නට පුළුවන්. සාමාන්‍යයෙන් මෙවැනි තත්ත්වයක් දරුවාට තිබෙනවා නම් අවුරුදු දෙකක් වීමට පෙර ශල්‍ය කර්මයක් මගින් ඒවා නිසි ලෙස සැකසිය යුතුයි. ඊට වඩා ප්‍රමාදවීම මගින් ශරීරය අභ්‍යන්තරයේ තිබෙන උෂ්ණත්වයට වෘෂණ කෝෂ ඔරොත්තු නොදෙන නිසා එහි ක්‍රියාකාරිත්වය නිසි ආකාරයෙන් සිදුවන්නේ නැහැ. ඒ නිසා තමයි ඉතාම අඩු වයසකදී ශල්‍ය කර්මයක් මගින් නිසි පරිදි සකසා ගන්න අත්‍යවශ්‍ය වෙන්නේ.

සාමාන්‍යයෙන් අවුරුදු හයකට පමණ පස්සෙත් මෙම තත්ත්වය ඇති දරුවෙකුට ශල්‍ය කර්මයක් කලත් ඉන් ලැබෙන සාර්ථකත්වය සියයට විස්සකටත් වඩා අඩුයි. මෙන්න මේ හේතුව නිසා තමයි අවුරුදු දෙකකදී පමණ මෙම ශල්‍ය කර්මය අනිවාර්යයෙන්ම කරන්න කියලා කියන්නේ. ඒ වගේම පහතට නොවැටුණු වෘෂණ කෝෂ ශරීරය ඇතුළෙ තිබීම මගින් පසුකාලීනව පිළිකා වැනි රෝගී තත්ත්ව පවා ඇතිවිමට තිබෙන ප්‍රවණතාවය වැඩි බවත් වෛද්‍යවේදීන් පවසනවා.

සමහර විට මෙම තත්ත්වය වෘෂණ කෝෂ දෙකටම සිදුවෙනවා. බොහෝ විට එයට හේතුව වන්නේ හෝමෝන ක්‍රියාකාරිත්වයෙහි වෙනසක් ඇතිවීමයි. එවැනි අවස්ථාවල ළමා සායනවලට සහභාගිවී හෝ වෛද්‍ය වරයෙකු හමුවී එයට හේතුව දැනගෙන හෝමෝන අවශ්‍ය නම් ඒවා ලබාදී අවුරුදු දෙකකට වැඩිවීමට පෙර දෙපැත්තෙම වෘෂණ ශල්‍යකර්මයක් මගින් නිසි පරිදි සැකසිය යුතුයි.

මෙම ශල්‍යකර්මය බරපතල ශල්‍ය කර්මයක් නෙමෙයි. මූලික රෝහලකදී වුවත් සිදුකළ හැකි ශල්‍යකර්මයක්. ඒ නිසා ප්‍රමාද නොකර ඔබේ පුංචි පුතාටත් මෙවැනි රෝගී තත්ත්වයක් තිබෙනවා නම් ඒ සඳහා අවශ්‍ය ශල්‍යකර්මය කරවා ගන්න. නමූත් තවත් ගැටළු මතුවෙනවා නම් කොළඹ ළමා රෝහල වෙත පැමිණීම හොඳයි. වෙනත් කිසිම ගැටලූවක් නිසා ඔබගේ පුතාගේ තත්ත්වය බරපතල වෙන්නට ඉඩහරින්න එපා. දෙමව්පියන් විදියට ඔබ ඔබගේ දරුවන් පිළිබඳව අවධානයෙන් සිටීම ඉතාම වැදගත්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × 3 =

සබැඳි ලිපි

Back to top button
Close