සෞඛ්‍ය

තැපෑලෙන් බෝම්බයක් යවා පාසල් දරුවෙකු මැරූ සමලිංගික ප්‍රේමය

ඇස්‌. ඇම්. සමරසිංහ නමැති දරුවා හොඳ කඩවසම් පෙනුමැති දරුවෙකු විය. ඔහු පදිංචිව සිටියේ කෑගලු දිස්‌ත්‍රික්‌කයේ කොබ්බෑගම නම් ගමෙහිය. හේ ගමෙහිම පාසලේ උගනිමින් සිටියේය.ගුරුවරියක වූ ඔහුගේ එක්‌ සොහොයුරියක්‌, ගුරුවරයෙකු හා විවාහ වී සිටියේය. තවත් සෝයුරියක්‌ හෙදියක ලෙස කටයුතු කළාය. ඔහුගේ අනෙක්‌ සොහොයුරා ඉගෙනුම අවසන් කොට ගෙදරට වී සිටියේය. ඔවුහු වැඩි පොහොසතුන් නොවූවද දුප්පතුන්ද නොවීය. ගොඩමඩ ඉඩම්වලින් යෑපුණු ඔවුහු නම්බුකාර ජීවිතයක්‌ ගත කළහ.

සමරසිංහ දරුවාට දොළොස්‌ විය පිරුණු කල්හි ඔහු හොඳ පාසලකට යෑවීම සුදුසු යෑයි කල්පනා කළ පවුලේ අය ඔහු මහනුවර ධර්මරාජ විද්‍යාලයට යෑවීමට කටයුතු කළහ. පාසල් නේවාසිකාගාරයේ ඉඩ නොලද බැවින් සමරසිංහ දරුවා පළමු අවුරුද්ද පාසල් ගියේ රජ මාවතෙහි වූ ගම්පහ වෙද මහතාගේ නිවසේ සිටය.

අනතුරුව සමරසිංහ දරුවා නවාතැන් ගත්තේ මහනුවර ත්‍රිකුණාමල වීදියෙහි ජයවර්ධන නමැති ඇඳුම් මහන්නෙකුගේ නිවසේය.ජයවර්ධන නමැති මේ ඇඳුම් මහන්නා දකුණු පළාතෙන් මහනුවරට සංක්‍රමණය වූවෙකි. පළමුව ඔහු හෝටලයක වේටරයෙකු විය. ඇඳුම් මැසීම ගැන කිසිදු පළපුරුද්දක්‌ නොවූ මොහු ව්‍යාපාරය ආරම්භ කළේ ඇඳුම් මැසීම දත් තරුණයන් කිහිප දෙනෙකු සේවයට ගැනීමෙනි. පිටිසරින් පැමිණි කඩවසම් පෙනුමෙන් යුත් මේ තරුණ දරුවා නගරයේ වෙසෙන, අවිවාහක වැඩිහිටි මිනිසෙකු සමඟ නැවතී සිටීමෙන් විය හැකි අතුරු අන්තරාවන් ගැන වැටහීමක්‌ පවුලේ අයට නොතිබුණා වන්නට පුළුවන.

වැඩිකල් යන්නට මත්තෙන් ජයවර්ධන මහන්නා තුළ තරුණ දරුවා කෙරෙහි මහත් කාම රාගයක්‌ උපන්නේය. නමුත් මහන්නාගේ මේ අනිසි සම්බන්ධතාවයට දරුවාගේ කිසිදු කැමැත්තක්‌ නොවීය. ඒ නිසා දරුවා තමා වෙනත් නවාතැනකට යන බව කියමින් මහන්නා හැර ගියේය. ළමයා ඊළඟට කොඩිකාර නමැති මිතුරෙකුගේ උදව්වෙන් වැලිකඩ ගමේ අල්විස්‌ අප්පුහාමි නමැත්තෙකුගේ නිවසේ නතර විය.

තරුණ දරුවා වෙන්ව යැම ජයවර්ධන මහන්නාගේ සිත තදින් රිදවන්නක්‌ විය. ඔහු දරුවාට ලියුම් යෑවීය. ඔහු නැතුව ජීවත්වන්නේ කෙසේ දැයි ඒ ලියුම්වලින් ප්‍රශ්න කළේය.කොඩිකාර නමැත්තා හමු වූ ජයවර්ධන මහන්නා තමා ළමයාට ඉතා හොඳින් සැලකූ බව සඳහන් කරමින් ළමයා ආපසු තමා ළඟට එවන මෙන් ඉල්ලා සිටියේය. එහෙත් සමරසිංහ දරුවා ආපසු මහන්නා වෙත ගියේ නැත.ජයවර්ධන දිගින් දිගටම ළමයා තමා වෙත එවන ලෙස ඉල්ලා සිටි අතර දිනක්‌ පිහියක්‌ ඇද පෙන්වා මම මෙයින් ඇන ඔහු වනසන්නෙමියි ද කියා සිටියේය.

ඉන් නොනැවතුණු ජයවර්ධන ළමයා නතර කරගෙන සිටි නිවසේ හිමිකරු අල්විස්‌ හමුවෙමින් ළමයා නැවත තමා වෙත එවන ලෙස කරදර කරන්නට විය. අන්තිමේදී ළමයා නවාතැන මාරු කළේය. ඔහු කඩුගන්නාවේ ටාර්සන් බස්‌ සමාගමේ කන්තෝරු කාමරයේ නවාතැන් ගත්තේය. ළමයා ආපසු ලබා ගන්නට ජයවර්ධන දැරූ සෑම උත්සාහයක්‌ම අසාර්ථක විය. ඔහු සිටියේ අඩක්‌ උමතුවය.

මේ අතර දිනෙක ළමයා පාරේදී මුණ ගැසුණු ජයවර්ධන තමා වෙත එන ලෙස ඉල්ලීය. ළමයා බැහැයි කී කල ඔහු ළමයාට පහර දුන්නේය. ඔහුට නඩු පැවරිනි. ඒ කාලයේ හැටියට ඔහුට රු. 5.00 ක දඩයක්‌ නියම විය.

“උඹට මං කරන දේ බලාගනින්” යෑයි ඔහු උසාවි බිමේ දී ළමයාට තර්ජනය කළේය. තමා බෝම්බ සාදන්නට දන්නා බවත් පාර්සල් බෝම්බයක්‌ යවා ළමයා මරා දමන බවත් ජයවර්ධන තැන තැන කරන ප්‍රකාශ සමරසිංහ දරුවාට ආරංචි විය. පාර්සලයක්‌ ලැබුනොත් විවෘත නොකරන ලෙස පණිවුඩය සමරසිංහ තම සොයුරු සොයුරියන් අතර බෙදා හැරියේය.

1948 ජන 20 දා 404 සහ 405 අංක යටතේ තැපෑලෙන් යෑවීම සඳහා පාර්සල් දෙකක්‌ හැව්ලොක්‌ ටවුමේ තැපැල් කාර්යාලයට යම් කෙනෙකු භාර දෙන ලදි. එකක්‌ කඩුගන්නාවේ නවාතැන් ගෙන සිටින සමරසිංහගේ නමටය. අනික ඔහුගේ සහෝදරිය වූ නෙලුන්දෙණියේ වෙසෙන සෙනෙවිරත්න නෝනා නමටය. මෙදිනම තවත් පාර්සල් දෙකක්‌ කොළඹ මහ තැපැල්හලට භාර දී තිබුණි. එකක්‌ සමරසිංහ දරුවාගේ සහෝදරයා වූ පොඩි නිලමේ නමටය. අනික ළමයාගේ නෑනා කෙනෙකුගේ නමටය.

පසු කලෙක නඩුවේදී ගැටලුවක්‌ වූයේ අහක සිටින නෑනාටද පාර්සලයක්‌ යෑව්වේ ඇයි ද යන්නය. නෑනා සමරසිංහ තරුණ දරුවා සමඟ රහසිගතව ආලයෙන් වෙළී සිටියා ය. ඒ නිසා ඇයද වැනසී යා යුතු යෑයි මිනීමරුවා කල්පනා කළා විය යුතුය නිසි පරිදි පිළිවෙළට පාර්සල් හතර හතර දෙනාගේ ලිපිනයන්ට ලැබී තිබුණි. සමරසිංහ තරුණ දරුවාගේ සහෝදරයා වූ පොඩි නිලමේ පාර්සලය විවෘත කළේ නැත. ඔහු පාර්සලය රැගෙන කෑගල්ලෙන් බසයක නැගී කඩුගන්නාව බලා පිටත් විය. ඒ කඩුගන්නාවේ නැවතී සිටින සිය සහෝදරයාට ද පාර්සලයක්‌ ලැබී ඇත්දැයි සැකය මතය. ඒ අතර මුණ ගැසුණු අයෙකු අත නෙලුන්දෙනියේ වෙසෙන සහෝදරියට පණිවුඩයක්‌ යවමින් ඔහු කියා සිටියේ පාර්සලයක්‌ ලැබුනොත් ප්‍රවේශම් වන ලෙසය.

සෙනෙවිරත්න සහෝදරියට පාර්සලය ලැබී තිබුණි. එය එවා තිබුණේ තම සැමියා විසිනි. ඒ නිසා ඇය පාර්සලය විවෘත කළාය. අදිනු යන නියෝගය ලියන ලද ස්‌ථානය තෙක්‌ ඈ පිහියකින් පාර්සලය කැපුවාය. ඒ කැපුම් පහරේදී “අදිනු” කම්බිය කැපී තිබුණි. ඒ බෝම්බය පිපිරුනේ නැත.

නෑනාට ද පාර්සලය ලැබී තිබුණි. ඈ පාර්සලය විවෘත කිරීමේ දී බැටරි කෑලි දෙකක්‌ සම්බ විය. ඒ ගැන සැක සිතූ ඇය පාර්සලය ඔතා ආරක්‌ෂිත තැනෙක තැබුවාය. පොඩි නිලමේ මල්ලී සොයා එනවිට හවස හතර පසු වී තිබුණි. ඊට පෙර සමරසිංහ පාසල හැරී නවාතැනට පැමිණ සිටියේය. පාර්සලය ඔහු සිය කාමරයට ගෙන ගියේය. පාර්සල් ගැන සැක කළ යුතු යෑයි සිය පවුලේ අයට දැනුම් දී සිටි ඔහු තමාට ලැබුණු පාර්සලය විවෘත කළේ ඇයි දැයි සිතා ගත නොහැකි කරුණකි. තදින් පුපුරන හඬක්‌ ඇසුණි. පොඩි නිලමේ සහෝදරයා යන විට ඔහුට දක්‌නට ලැබුණේ බරපතළ ලෙස තුවාල වී සිටි සමරසිංහ ළමයාය. කාමරය පොඩි පට්‌ටම් වී තිබුණි. ළමයා රෝහලට ගෙන ගියද හේ එදින සවස මිය ගියේය. අනිත් තිදෙනාම බේරුණු නමුදු මිනීමරුවාට අවශ්‍යම බිල්ල ගනු ලැබිණි.

ජයවර්ධන සිරභාරයට ගනු ලැබීය. මේ නඩුව ප්‍රසිද්ධ නඩුවක්‌ විය. පැමිණිල්ල සාක්‌ෂිකරුවන් 40 දෙනෙකු කැඳවීය. ඒ හැම සාක්‌ෂියක්‌ම ජයවර්ධනගේ අපරාධ සැලසුම මනාව හෙළි කරවන සුලු සාක්‌ෂි විය.

ජයවර්ධනගේ නීතිඥයාගේ ප්‍රධාන තර්කය වූයේ බෝම්බ පාර්සල් එව්වේ ජයවර්ධනමද යන්න ඔප්පු වී නැති බවය. එය හොඳ නීති ප්‍රශ්නයක්‌ විය. එහෙත් ජූරි සභාව තීරණය කළේ විත්තිකරු වරදකරු බවය. විනිශ්චයකාරතුමා ඔහුට මරණ දඬුවම නියම කළේය. විත්තිකරුගේ ඥතීන් ඇපෑලක්‌ ඉදිරිපත් කළහ. එය නිෂ්ප්‍රභා විය. අන්තිමේදී මරණ දඬුවම වෙනස්‌ කොට ජීවිතාන්තය දක්‌වා සිරදඬුවම් ඉල්ලා සිටියහ. එහෙත් ඒ ඉල්ලීම් හැම එකක්‌ම ප්‍රතික්‍ෂේප විය. උසාවි තීන්දුවෙන් මාස 10 කට පසුව ජයවර්ධන එල්ලා මරන ලදී.

මෙයින් වසර 88 කට පෙර මිනීමරුවා අනුගමනය කළ උපක්‍රමය දියුණු සහගත එකක්‌ විය. අදත් මෙවැන්නක්‌ විය හැක. දරුවා අහිංසක අයෙකු විය. ජයවර්ධන සමලිංගික හැඟීම් සහිත අයෙක්‌ විය. ඔහු ළමයා දිනා ගැන්මට බොහෝ වෙහෙස දැරුවේ එබැවිනි. අන්තිමේදී එය වෛරයකට පෙරළිනි. ළමයෙක්‌ නවාතැන් ගැන්වීමේදී බොහෝ දේ සොයා බැලිය යුතුය යන්න මේ කතාව අපට දෙන එක්‌ පාඩමකි. මෙවැනි අපරාධකරුවන්ට දිය යුත්තේ මරණ දඬුවමය. එය එදා නම් ඉෂ්ට විය.

මේ කතාව උපුටා ගනු ලැබුයේ ඩබ්. තල්ගොඩපිටිය විනිශ්චයකාරතුමා විසින් ලියන ලද ලංකාවේ ප්‍රසිද්ධ නඩු කිහිපයක විග්‍රහය නමැති කෘතියෙනි. එය 1960 වසරේ මුද්‍රණය කරන ලද්දකි.

මෙය මෙයින් වසර 88 කට පමණ පෙර සිදු වූ සිදුවීමකි. නවසිය හතළිස්‌ ගණන්වල සිදු වූ මේ සිද්ධියට සහ නඩුවට එකල විශාල ප්‍රසිද්ධියක්‌ ලැබුණි.


චන්ද්‍රසිරි දොඩන්ගොඩ

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × two =

සබැඳි ලිපි

Back to top button
Close