දැනුම

දෙබිඩි කෙසෙල් කෑවම නිවුන් දරුවෝ හම්බෙනවද….?

දෙබිඩි කෙසෙල්, ඒ කියන්නේ එකිනෙකට ඇලුණු කෙසෙල් කෑවම නිවුන් දරුවෝ හෝ දෙබිඩි දරුවන් හම්බෙනවා කියලා කට කතාවක් සහ භයක් ශ්‍රී ලාංකීය ජන සමාජයේ තියෙනවා. හැබැයි ඒ කටකතාව කොහෙත්ම විද්‍යාත්මක පදනමක් තියෙන එකක් නෙමෙයි. මොකද කෙසෙල් කියන්නේ සාමාන්‍ය පළතුරක්. කෙසෙල් ගෙඩි දෙකක් එකට ඇලෙන්නේ කෙසෙල් මුවකින් කෙසෙල් ගෙඩි හටගන්නකොට මුල් කාලයේ ඉඳලම කෙසෙල් ගෙඩි දෙකක් එකට ගෑවී තිබීම හින්දයි. ඉතින් එහෙම කෙසෙල් ගෙඩි දෙකක් කෑවම නිවුන් දරුවන් ඇතිවීමට බලපෑමක් වෙන්නේ කොහොමද?


නිවුන් දරු උපතක් ඇතිවීම

ඩිම්බ දෙකක් පිටවීම මඟින් නිවුන් දරුවන් ඇතිවන ක්‍රියාවලිය

සාමාන්‍යයෙන් ගැහැණියකගේ ඩිම්බ කෝෂ මඟින් එකවර එක් ඩිම්බයක් පමණක් නිපදවෙනවා. හැබැයි නිවුන් දරු උපත් වැනි අවස්ථාවලට හේතු වෙන එක හේතුවක් තමයි ඩිම්බ කෝෂ දෙකෙන් ඩිම්බ දෙකක් එකවර නිපද වෙන එක. ඊට පස්සේ එම ඩිම්බ පැලෝපීය නාල හරහා ගමන් කරනවා. ඒ අතර ශුක්‍රානු ගර්භාෂය හරහා පැලෝපීය නාලය දිගේ ඇවිත් ශුක්‍රානු දෙකක් පමණක්, ඩිම්බ දෙක සමඟ එකතු වෙනවා. බහුලවම නිවුන් දරුවන් ඇතිවන ක්‍රියාවලිය තමයි මේ. (ඩිම්බයක් සහ ශුක්‍රාණුවක් එක්වීම සංසේචනය නමින් හඳුන්වනවා) මෙම ක්‍රියාවලිය මඟින් ඇතිවන දරුවන් සර්වසම නොවන නිවුන්නු ලෙස හඳුන්වනවා. ඒ කියන්නේ ඔවුන් ගැහැණු පිරිමි හෝ ශරීරයේ ස්වභාවයෙන් වෙනස් නිවුන්නු.


 

එක් සංසේචිත ඩිම්බයක් දෙකට බෙදීම මඟින් නිවුන් දරුවන් ඇතිවන ක්‍රියාවලිය

සංසේචනය වුනු ඩිම්බයක් (යුක්තානුවක්) ගර්භාෂය තුළ තැම්පත් වීම දක්වා ගමන් කරන අතරතුර එම යුක්තානුව දෙකට බෙදී වෙන්වීම මඟින් නිවුන් දරුවන් ඇතිවෙනවා. ඒ වගේම ඩිම්බයක් සහ ශුක්‍රාණුවක් සංසේචනය වීමෙන් සෑදෙන යුක්තානුව පැලෝපීය නාලය දිගේ ගර්භාෂය දක්වා ගමන් කරන මාර්ගයේදී සෛල 2,4,8,16 ලෙස බෙදෙන අතර එකම යුක්තානුව සම්පූර්ණ සෛල බෝල දෙකක් වශයෙන් බෙදීමට ලක්වීම මඟින් ද නිවුන් දරුවන් ඇතිවෙන්න පුළුවන්. මෙම ක්‍රියාවලියෙන් බිහිවන දරුවන් සර්ව සැම නිවුන්නු ලෙස හඳුන්වනවා. ඔවුන් එකම ලිංගයකට අයත් රූපයෙන් සමාන නිවුන්නු වෙනවා.

 

මීට අමතරව ගර්භාෂය තුළ යුක්තානුවක් තැම්පත් වූ පසුවත් ඩිම්බය බෙදීමට ලක්වෙන්න පුළුවන්. නමුත් එවිට වැදෑමහ නිර්මානය වී අවසන් අතර කළල දෙක වතුර බෑග් (water bag) දෙකක පිහිටන්න පුළුවන්. මෙම ක්‍රියාවලිය සංසේචනය වී දවස් 4ත් 8ත් අතර සිදුවෙන්න පුළුවන් ක්‍රියාවලියක්.

සාමාන්‍යයෙන් වැදෑමහ දෙකක් සහිත ඒ වගේම වතුර බෑග් දෙකක් සහිත නිවුන් දරුවන් හොඳම නිවුන් දරුවන් ලෙස හඳුන්වන්න පුළුවන්. නමුත් කලින් සඳහන් කළා වගේ දින 4ත් 8ත් අතර ඇතිවන නිවුන් දරුවන් හෙවත් එක් වදෑමහක් සහ වතුර බෑග් දෙකකින් යුතු අයගේ ගැටළු රාශියක් ඇතිවෙන්න පුළුවන්. නමුත් වාසනාවට එවැනි නිවුන් දරු උපත් එතරම් සුලභ වෙන්නේ නැහැ.

ඒ වගේම සංසේචනය වී 8 -13 අතර දින ගණනකදී කලලය දෙකට බෙදුනොත් එවිට වතුර බෑගය සහ වැදෑමහ යන දෙකම වර්ධනය වී අවසන් නිසා පෙකෙණිවැල් පැටලීම, වර්ධනය අඩුවීම වැනි සංකූලතා සහිත දරුවන් ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම දින 13 ට පසුව ඇති වුණොත් වැදෑමහ, වතුර බෑගය පමණක් නොවේ දරුවාත් ඇති වී අවසන් නිසා එවිට කලලය දෙකට බෙදීමෙන් බද්ධ නිවුන් දරුවන් හටගන්න ඉඩ තියෙනවා. නමුත් වාසනාවට එවැනි නිවුන් දරු උපත් ඇති වන්නේ ඉතාමත් කලාතුරකින්.


ඉතින් අන්තිමට අපිට කියන්න තියෙන්නේ දෙබිඩි කෙසෙල් කෑවම නිවුන් දරුවන් ඇතිවීම වැඩි කරන කිසිම බලපෑමක් සිදුවෙන්නේ නැහැ. ඒක මොන හේතුවක් නිසා හරි අපේ රටේ ජනවහරේ ඇතිවුණු නිකම්ම නිකං කට කතාවක් විතරයි. ඒකට කිසිම විද්‍යාත්මක පදනමක් ළඟින්වත් ගෑවිලා නෑ කියන එක මතක තියාගන්න. ඔබේ ඊළඟ පරම්පරාවටත් මේ බොරුව අමූලික බොරුවක් බව කියා දෙන්න.


දෙබිඩි හෙවත් බද්ධ දරුවන්

දෙබිඩි හෙවත් බද්ධ දරුවන්


සාමාන්‍ය සර්ව සම නිවුන්නු

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twelve − two =

සබැඳි ලිපි

Back to top button
Close