විචිත්‍ර

මගේ එකම හීනය ලිංගික වෙනස නිසා අතහැරුණු මගේ පවුල ආයෙමත් ලබාගැනීමයි – භූමි හරේන්ද්‍රන්

පිරිමියෙකු සතු සම්පූර්ණ පෞරුෂය මා තුළ නැතිවුණත් එයාලට තවදුරටත් අවශ්‍ය වුණේ මාව පුතෙක් විදිහට දකින්න මිසක් දුවෙක් විදිහට දකින්න නෙවෙයි.

මෙය වෙනස් කතාවකි. ලොව වෙනස් නොවන එකම දේ වෙනස් වීම බව අප අසා ඇත්තෙමු. මේ වෙනසක් නිසා වෙනස් වූ කෙනකුගේ කතාවකි. භූමි හරේන්ද්‍රන් (25) යනු ලිංගික සංක්‍රාන්තියකට මුහුණ දුන් අයෙකු බව පැවසුවහොත් ඇතැම් විට මෙය කියවන ඔබේ සිතේ ද වෙනස් සිතිවිලි ඇතිවිය හැකිය. ලිංගික සංක්‍රාන්තියක් සඳහා ප්‍රවේශ වීමට කිසියම් අයෙකු තුළ පෙලඹවීමක් ඇතිකිරීමට අප මේ සටහන තුළින් උත්සාහ කරන්නේය යන පටු අදහස බැහැර කර මෙය කියවන්නැයි ඉල්ලීමක් කරමි.

භූමි හරේන්ද්‍රන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ පවුල් සෞඛ්‍ය සැලසුම් ආයතනය, ජාතික ලිංගාශ්‍රිත රෝග මධ්‍යස්ථානය සමග අත්වැල් බැඳගනිමින් ගෝලීය අරමුදල යටතේ ඒඞ්ස් රෝග නිවාරණය වෙනුවෙන් කටයුතු කරන රාජ්‍ය නොවන ආයතනයක වැඩසටහන් සම්බන්ධීකරණ නිලධාරිනියක ලෙස කටයුතු කරයි.

“ලිංගික සංක්‍රාන්තියකට මුහුණ දීම අභියෝගයක් කිව්වොත් නිවැරදියි. එවැනි පුද්ගලයකු දෙස සමාජය බලන්නේ හරිම පටු විදිහටයි. නමුත් එය එම පුද්ගලයාගේ වරදක් නෙවෙයි. පුද්ගලයකුගේ ලිංගිකත්වය තීරණය වෙන්නේ මව්කුසේදිමයි. ඒ ලිංගිකත්වයේ අසාමාන්‍ය බව සමග මෙලොවට බිහිවෙන දරුවා අමුතු සමාජ සත්ත්වයෙක් විදිහට සලකන එක කොයිතරම් දුරට සාධාරණයිද? ඒ වරදට ඒ දරුවවත් ඔහුගේ දෙමාපියන්වත් වරදකරුවන් නෙවෙයි. නමුත් කුඩා වියේ ඉඳලම එහෙම දරුවෙකුට සමාජයෙන් ලැබෙන්නේ අපහාස අවලාද විතරයි. ඒ දරුවා වැඩිහිටි වියට පත්වෙන්නෙත් ඒ තත්ත්වය තුළමයි. කුඩා වියේදී පවුලෙන් තමන්ගේ සහෝදර සහෝදරියන් අතරම කොන්වෙන ඒ දරුවට පවුලේ ආදරය ලැබෙන්නෙ අඩුවෙන්. පාසලේදී එහෙම දරුවෙකුට ඉගෙනගන්න යහපත් පරිසරයක් ලැබෙන්නෙ නැහැ.

උසුළු විසුළු පමණයි. හරිහැටි අධ්‍යාපනයක් ලබලා නැති නිසා හොඳ රැකියාවකට යන්න බැහැ. සංක්‍රාන්ති ලිංගිකයින්ට කරන්න පුළුවන් මෝස්තර නිරූපණය හෝ රූපලාවණ්‍යාගාරයක රැකියාවක් විතරයි කියලා සමාජයේ මතයක් හැදිලා තියෙන්නෙ ඒකයි. ඒකත් කරන්න බැරි කෙනෙක්ට පිළිසරණ වෙන්නෙ  මහපාර විතරයි. ඒ විදිහට අසරණ වෙලා පාරට වැටුණට පස්සේ  සමාජේ තියෙන සියලුම දුරාචාරවලට ඔහු පෙලඹෙන්න පුළුවන්. ඒ නිසයි  ලිංගික සංක්‍රාන්තිකයින් සහ සම ලිංගිකයින් සමාජයට  වසංගත බෝ කරන, සමාජය කෙලසන පිරිසක් විදිහට හංවඩු ගැහිලා තියෙන්නෙ. මේ තරම් පින් දහම් කරන බණ අහන රටක ඔබ හිතන්න මම වගේ කෙනෙක් වෙසක් හෝ පොසොන් දන්සලකට ගිහින් බත් ටිකක් කන්න පෝලිමේ හිටියොත් අනිත් අයට බෙදන හැන්දෙන් ඔවුන් මටත් බෙදයිද? මම වගේ අයෙක් දුටු ගමන් ඔවුන් හිතන්නේ මගේ ලිංගිකත්වය මොකක්ද? ඒක වෙනස් වුණේ කොහොමද? වගේ ප්‍රශ්න රාශියක් ඇස්වල තියාගෙන නේද ඔවුන් මම දිහා බලන්නෙ? ඒක මගේ වරදක්ද? වෙනස් වූ ලිංගිකත්වයක් ඇතිව මම මේ ලෝකෙට ඉපදුණේ මගේ වරදින්ද? මගේ දෙමව්පියන්ගේ වරදින්ද? ඒ නිසා මට මුහුණ දෙන්න වුණු දේවල් තුළ මම ලිංගික සංකාන්ත්‍රියකට යොමු වුණ එක වරදක්ද? ”

භූමි ඒ පැනය විමසන්නේ සමාජයෙනි. පවුලේ එකම දරුවා ලෙස උපන් භූමිට කුඩා කල සිටම තමා “වෙනස්” බව දැනී තිබේ. ඒ වෙනස තුළ තමාගේ ජීවිතයට නිසි අරමුණක් බලාපොරොත්තුවක් නොවන බව වටහා ගැනීමට හැකිතරම් වයසකට පත්වූ පසු භූමි තමාගේ වෙනස වෙනස් කරගැනීමට එක් අරමුණට පැමිණ තිබේ.

’‘ඒ තීරණය මට ලොකු අභියෝගයක් වුණා. මගේ අම්මා තාත්තා ඒ වෙනස පිළිගන්න කැමති වුණේ නැහැ. පිරිමියෙකු සතු සම්පූර්ණ පෞරුෂය මා තුළ නැතිවුණත් එයාලට තවදුරටත් අවශ්‍ය වුණේ මාව පුතෙක් විදිහට දකින්න මිසක් දුවෙක් විදිහට දකින්න නෙවෙයි. නමුත් මට මගේ ජීවිතේට අරමුණක් ඕන වුණා. මේ වෙද්දි මම සැත්කමක් තුළින් ලිංගික සංක්‍රාන්තියකට පත්වෙලා ඉන්නවා. ඒ දේවල් නිසා අම්මා තාත්තා මාව අතෑරියා. මම දන්නවා එයාලා නෙවෙයි මාව අතෑරියේ. සමාජය ඒ තැනට ඔවුන්ව තල්ලු කළා. ලිංගික සංක්‍රාන්තිය මහා පාපයක් වරදක් විදිහට සලකන සමාජය ඉදිරියේ මගේ අම්මටයි තාත්තටයි මම වෙනුවෙන් පෙනී හිටින්න බැරිවුණා. මම ඒ ගැන ඔවුන්ට වෛර කරන්නෙ නැහැ. අම්මයි තාත්තයි මම වෙනුවෙන් බොහෝ දේවල් කළා. ඒ දේවල්වලට මම ඔවුන්ට ණයගැතියි. මගේ හිතේ තියෙන එකම බලාපොරොත්තුව මැරෙන්න මොහොතකට කලින් මට ඉස්සර වගේ මගේ අම්මයි තාත්තයි එක්ක ආදරෙන් ඉන්න ලැබෙන්න කියන එකයි. ”

භූමිගේ කතාව සංවේදී වුවද ඒඞ්ස් වැනි සමාජ රෝග පැතිරවීම සම්බන්ධයෙන් සමාජයේ වැඩිපුර ඇඟිල්ල දිගුවන්නේ ලිංගික සංක්‍රාන්තිකයින්ට සහ සම ලිංගිකයන්ටය.

“ඒ චෝදනාව සම්පූර්ණ ඇත්තක් නොවෙයි. සමලිංගිකයින් සහ ලිංගික සංක්‍රාන්තිකයින් සමාජ උවදුරක් බවට පත්වෙලා තියෙන්නෙ සමාජය විසින්ම ඔවුන්ව එවැනි තැනකට තල්ලුකර තිබෙන නිසයි. මෙහෙම කිව්වම එවැනි දේවල්වලට සමාජය පොලඹවනවා කියලා චෝදනා කරන්න පුළුවන්. නමුත් මෙවැනි දේවල්වලට තවත් කෙනෙක්ව පොලඹවන්න පුළුවන් කියන කතාවට නම් මම එකඟ වෙන්නෙ නැහැ. ඒ වගේම මම කතාකරන්නේ තමන්ට උපතින් ලැබී තිබෙන සාමාන්‍ය ලිංගිකත්වය විකෘතියක් කරගෙන  අසම්මත ජීවිත ගෙවන අයව ආරක්ෂා කරන්නත් නෙවෙයි. ස්ත්‍රී හෝ පුරුෂ කියන ලිංගිකත්වයට අදාළ සම්පූර්ණ බව වෙනුවට එහි අඩක් පමණක් සහිතව ඉපදිලා වෙනස් ජීවිත ගෙවන්න සිදුවෙලා ඉන්න අය ගැනයි. ලිංගික සංක්‍රාන්තියක් තුළින් ඒ වෙනස නිවැරදි කරගෙන ජීවිතය විඳින්න තියෙන නීතිමය හා සමාජමය බාධාවන් මේ ලෝකෙන් තුරන් වෙන දවසක් උදාවෙයිද කියන්න මම දන්නෙ නැහැ.”
උපතින් ලැබුණු වෙනස් ලිංගිකත්වය සංක්‍රාන්තියකට ලක්කර ගැනීමෙන් පසු ඔබ දැන් සතුටින්ද? ඒ පැනයට භූමි දුන්නේ මෙවැනි පිළිතුරකි.

’‘මේ ජීවිතය හැමදාටම අභියෝගයක් කියලයි මට හිතෙන්නෙ. ඉස්සර මම මගේ වෙනස නිසා දුක් වුණා. ලිංගික සංක්‍රාන්තයකට යොමුවුණාට පස්සෙත් මගේ ජීවිතේ අභියෝග නැතිවෙලා නැහැ. මගේ සුදුසුකම්වලට හරියන රැකියාවක් හොයාගන්න ගියත් මිනිස්සු ප්‍රශ්න කරන්නෙ කතා කරන්නේ මගේ සුදුසුකම් ගැන නෙවෙයි. ලිංගික සංක්‍රාන්තියට මුහුණ දුන්නෙ කොහොමද? ඒ සැත්කම කළේ කොහොමද? කියන දේවල් ගැනයි.

ඒ වගේම ඉස්සර නම් මගේ හිතෙත් හීනයක් තිබුණා ගැහැනියකට උරුම ජීවිතය ලබන්න. පිරිමියකුගේ ආදරයක් රැකවරණයක් සහිතව දරුවෙක් අරන් හදාගෙන හරි හොඳ අම්මා කෙනෙක් වෙන්න. නමුත් මේ වෙද්දී මම ලබලා තියෙන සමාජ අත්දැකීම් එක්ක ඒ  හීනය හිතෙන් ඈතට යමින් තියෙනවා. මොකද මේ සමාජය තුළ ගොඩක් විවාහ බැඳීම් තුළ විශ්වාසය කියන දේ හරිම අඩුයි. මම මගේ අම්මගෙයි තාත්තගෙයි පවුල් ජීවිතේ ඇතුලේ දැකපු ආදරේ විශ්වාසය අද විවාහක අය අතර හරිම අඩුයි.

එහෙම තත්ත්වයක් තුළ මම කැමති නැහැ කාගෙවත් ලිංගික වහලියක් වෙන්න. ඒ වගේම මුදලට ලිංගිකත්වය අලෙවි කරන්නත් මම කිසිසේත්ම සූදානම් නැහැ. මගේ දැනුම, ශ්‍රමය හා කාලය සමාජයට වැඩදායී දෙයක් වෙනුවෙන් කැපකරන්න සූදානම්. ඒඞ්ස් නිවාරණය ආදී සමාජ සේවාවන් වෙනුවෙන් ඉදිරියටත් මම කැපවෙලා කටයුතු කරනවා. ඒ වගේම මේ වෙද්දී මට  තියෙන එකම හීනය ලිංගික සංක්‍රාන්තිය නිසා මට අතහැරුණු මගේ පවුල ආයෙමත් ලබාගන්නයි.”


මාධ්‍ය සම්බන්ධීකරණය – නාරද බක්මීවැව | සුරේකා නිල්මිනී

රිවිර පුවත්පත ඇසුරින්

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × 5 =

සබැඳි ලිපි

Back to top button
Close