දැනුම

ලිංගික සංක්‍රාන්තියක් කියන්නේ මොකක්ද?

ලිංගික සංක්‍රාන්තියක් යනු කුමක්ද?

මෙහිදී ලිංගික සංක්‍රාන්තියකට ප්‍රවේශ වීමට සිදුවන්නේ ඇයි කියන කරුණ ගැන විමසිය යුතුයි. මානසික වෛද්‍ය විද්‍යාවට අනුව මිනිසුන් වශයෙන් අප සියලුදෙනාට කායික ශරීරයක් සහ මානසික ශරීරයක් තිබෙනවා. කායික ශරීරය යනු ප්‍රධාන වශයෙන් ගැහැනු සහ පිරිමි වශයෙන් ලිංගේන්ද්‍රය මත පදනම් වූ, බාහිර වශයෙන් පිටතට පෙනෙන ස්වරූපයටයි. මානසික ශරීරය තුළ කෙනෙකුගේ සිතුම් පැතුම්, රුචි අරුචිකම් ඇතුළු පෞරුෂත්වය අඩංගු වෙනවා. ඒ තුළ ද ස්ත්‍රී, පුරුෂ වශයෙන් ලිංග භේදයක් තිබෙනවා. සාමාන්‍යයෙන් ජනගහනයෙන් සියයට 95කගේ පමණ කායික හා ශාරීරික ශරීරය සමානයි. ඒ කියන්නේ පුරුෂ කායික ශරීරයක් තුළ පුරුෂ මානසික ශරීරයක් අඩංගු වෙනවා වගේම ගැහැනු කායික ශරීරයක් තුළ ගැහැනු මානසික ශරීරයක් අඩංගු වෙනවා.

නමුත් සියයට 5 ක පමණ පිරිසක් තුළ ඉහත කී කායික හා මානසික ශරීරය සමාන නැහැ. ඒ කියන්නේ ඔවුන් සමහරෙකුට පිරිමි කායික ශරීරයක් සහ ගැහැනු මානසික ශරීරයක් තිබෙනවා. ඔවුන් වයසින් වැඩෙනවාත් සමග ද්විත්ව ලිංගික විපර්යාස සිදුවන කාලයේදී ඔවුන් තුළ මානසික ගැටුමක් හටගන්නවා තමා පිරිමියෙක්ද ගැහැනියක්ද කියන ප්‍රශ්නය සම්බන්ධයෙන්. පිටතින් තමන් පිරිමියෙක් වුණත් ඇතුළතින් ඔවුන්ට දැනෙන්නේ තමන් ගැහැනියක් බවයි. ඒ තත්ත්වය තුළ තමන් ගැහැනියක්ද පිරිමියෙක්ද කියන තත්ත්වය වටහාගත නොහැකිව ඔවුන් මානසික වශයෙන් දැඩි පීඩාවකට ලක්වෙනවා. එම තත්ත්වය දුරදිග යාම තුළ කලාතුරකින් ඔවුන් සියදිවි හානිකරගැනීමකට වුවත් පත්විය හැකිය. එයට හේතුව සමාජය පිළිගත් තත්ත්වයට ඒකාත්මික වීමට ඔවුන්ට නොහැකි වීම නිසයි. එක්කෝ ඔවුන් ඒ තත්ත්වය තුළම සිටිය යුතුයි. නැතිනම් තමන්ගේ මානසික ශරීරයට අවශ්‍ය ආකාරයට කායික ශරීරය වෙනස් කරගත යුතුයි. එසේ වෙනස්කර ගැනීම අප ලිංගික සංක්‍රාන්තියක් ලෙස හඳුන්වනවා.

ඒ ආකාරයේ ලිංගික සංක්‍රාන්තියකට සූදානම් වන අයකුව සුදුසුකම් ලත් මානසික වෛද්‍යවරයකුගේ නිර්දේශ මත ඒ යටතේ විශේෂ උපදෙස් යටතේ වසර දෙකහමාරක පමණ කාලයක් මානසික උපදේශනයක් ලබාදෙනවා. ඒ තුළින් සැත්කමක් තුළින් ලිංගික විපර්යාසයක් සිදුකිරීමට පළමුව ඒ සඳහා ඔහුගේ මනස සූදානම් කරනවා.

උදාහරණයක් විදිහට අපි හිතමු,පිරිමි කායික සිරුරක් සහ ස්ත්‍රී මානසික ශරීරයක් තිබෙන අයෙක් ස්ත්‍රියක් ලෙස වෙනස් වන්නට සූදානම් වෙනවා නම් අපි ඔහුට කියනවා කාන්තාවක ලෙස හැඳපැලඳගෙන සමාජයට ඉදිරියට ගිහින් සමාජයට මුහුණ දෙන්න ශක්තියක් තිබෙනවාද කියල බලන්න කියලා. ඒ තුළින් සිදුකරන්නේ සංක්‍රාන්ති ලිංගිකයකු ලෙස සමාජයට මුහුණ දීමට තමා තුළ ධෛර්යයක් තිබෙනවාද යන්න ඔහු ලවාම උරගාබැලීමක්. එයට හේතුව ඇතැම් පුද්ගලයින් ලිංගික සංක්‍රාන්තියකට කැමති වුවත් සමාජයෙන් ලැබෙන ප්‍රතිචාර හමුවේ ඔහු එයට පසුබට වෙන නිසයි. එවැනි ක්‍රියාකරකම්වලින් අනතුරුව ඒ සඳහා අදාළ වන ලිංගික සැත්කම් තුළින් සහ කෘත්‍රිමව හෝමෝන ලබාදීමෙන් අවශ්‍ය ලිංගික විපර්යාස සිදුකරනවා. ඒ අනුව ලිංගික සංක්‍රාන්තියක් තුළින් එම සුළු ප්‍රජාවගේ මානව හිමිකම් ආරක්ෂා වීම වගේම ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ප්‍රවර්ධනය කිරීමක් ද සිදුවෙනවා.

එච්.අයි.වී රෝග ව්‍යාප්තිය සහ ලිංගික සංක්‍රාන්තියන් අතර සබඳතාව කුමක්ද?

එච්.අයි.වී ආසාදනය වීමේ වැඩි අවදාමක් තිබෙන කොටසක් ලෙස ලිංගික සංක්‍රාන්ති පුරුෂයින් සැලකෙනවා. එයට හේතුව කලින් පිරිමි කායික ශරීරයක් සහිතව සිට පසුව ලිංගික සංක්‍රාන්තිය තුළින් කාන්තාවන් බවට පත්වූ අයගේ වැඩි ආකර්ෂණයක් තිබෙන්නේ පිරිමි පක්ෂයට වීමයි. ඒ වගේම ඔවුන් ලිංගික සබඳතා පවත්වන ආකාරයත් රෝගය ආසාදනය වීමට හේතුවක්. එම නිසායි ඔවුන්ට එච්.අයි.වී ආසාදනය වීමේ වැඩි අවදානමක් පවතින්නේ. ඒ වගේම මෙවැනි ලිංගික සංක්‍රාන්තිකයින්ට අපේ වැනි සම්ප්‍රදායික රටවල ගැටලු රාශියක් තිබෙනවා. ඔවුන්ව තමන්ගේ පවුල තුළින් වගේම සමාජයේ සෙසු හැම තැනකින්ම ප්‍රතික්ෂේප වෙනවා. ඒ නිසා ඔවුන්ට සමාජගත වීම ඉතා අසීරුයි. ඒ නිසාම ඔවුන් කිසියම් අයෙකු සමග සම්බන්ධතාවයක් ඇතිකරගත්තත් දීර්ඝකාලීනව ඒ සබඳතා පවත්වාගෙන යන්න බැහැ. ඒ නිසා ඔවුන්ට තමන්ගේ ජීවිත කාලය තුළ පුද්ගලයින් වැඩි සංඛ්‍යාවක් සමග සබඳතා පවත්වන්න සිදුවෙනවා. ඒ වගේම ඔවුන්ට පිළිගත් රැකියාවක නිරත වෙන්නත් හෝ සමාජය තුළ ඉඩක් ලැබෙන්නෙ නැහැ. ලිංගික සංක්‍රාන්තිකයකුට බොහෝවිට රැකියාවක් සොයාගත හැක්කේ රූපලාවණ්‍ය කටයුතු, ඉවුම් පිහුම් සහ නර්තන කටයුතු තුළින් පමණයි. ඒ නිසාම ඔවුන්ට රැකියාවක් ලෙස ලිංගික කටයුතුවල යෙදෙන්න පෙලඹවීමක් ඇතිවෙනවා. ඒ තුළ ඔවුන් එච්. අයි.වී ඇතුළු වෙනත් සමාජ රෝගවලට පහසුවෙන් ලක්වීමේ අවදානමක් පවතිනවා.

පොදු ජනතාවට බලපාන සෙසු සෞඛ්‍ය ගැටලු රාශියක් තිබියදී වෛද්‍යවරයකු ලෙස ඔබ විශේෂයෙන් සංක්‍රාන්ති ලිංගිකයන් වෙනුවෙන් පෙනී සිටින්නේ ඇයි?

ඔබ කියනවා වගේ කෙනෙකුට මට එවැනි චෝදනාවක් කරන්න පුළුවන්. ලිංගික සංක්‍රාන්තිකයින් කියන්නේ මේ සමාජයේ ජීවත්වන ඉතා සුළු ප්‍රජාවක්. සමාජයේ සංඛ්‍යාත්මකව විශාල ප්‍රජාවගේ පොදු සෞඛ්‍ය ගැටලු යටපත් කර මෙවැනි සුළු ප්‍රජාවක් වෙනුවෙන් පෙනී සිටීම පිළිබඳ මට චෝදනා නගන්න පුළුවන්. නමුත් ඉදිරියේදීත් මම ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. එයට හේතුව මේ සුළු ප්‍රජාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හරහා මුළු මහත් ප්‍රජාවගේම අයිතිවාසිකම් ආරක්ෂා කිරීමක් සිදුවෙන නිසයි. ඒ ගැන මේ විදිහට පැහැදිලි කරන්න පුළුවන්.

ලිංගික සංක්‍රාන්තිකයින් සමග වැඩිවශයෙන් ලිංගික සබඳතා පවත්වන්නේ පිරිමි පාර්ශ්වයයි. එයිනුත් වැඩිවශයෙන් සමලිංගික විවාහක පිරිමි අයයි. එයට හේතුව සමලිංගික නැඹුරුතාවයක් තිබෙන පිරිමි තමන්ගේ ඒ ස්වාභාවය වසන් කරගෙන නමට විවාහයක් කරගත්තත් තවත් සමලිංගික හෝ ලිංගික සංක්‍රාන්ති පිරිමින් සමග එක්වීමෙන් තමන්ගේ ලිංගික අවශ්‍යතා ඉටුකරගන්නවා. එහිදී ඒ විවාහක පුරුෂයාට එච්.අයි.වී ආසාදනය වුණොත් නිවසේ ඉන්න මේ කිසිවක් නොදන්න ඔහුගේ අහිංසක බිරිඳ ඇයත් නොදැනුවත්වම එච්.අයි.වී ආසාදිතයෙක් වෙනවා. එම නිසා වෛද්‍යවරයෙක් හැටියට මම වගකීමෙන් කියන්න කැමතියි අපි සංක්‍රාන්ති ලිංගිකයින් කියන සුළු ප්‍රජාවගේ ප්‍රශ්න නොතකා හැරීම මුළු මහත් සමාජයටම බලපාන ප්‍රශ්නයක් බවට පත්වෙනවා. මේ වන විට අපේ රට ඇතුළු මුළු ලෝකයටම එච්.එයි.වී අවදානම තිබෙනවා. එම තත්ත්වයෙන් ජනතාව ආරක්ෂාකර ගැනීමට හැම රජයකටම වගකීමක් තිබෙනවා. ලිංගික සංක්‍රාන්තිකයින්ගේ ගැටලුවලට විසඳුම් සෙවීම ඒ යටතේ අත්‍යවශ්‍ය වී තිබෙනවා. එම නිසයි අප ලිංගික සංක්‍රාන්ති පුද්ගලයින් පිළිබඳ දැඩි අවධානයෙන් කටයුතු කරන්නේ. ඔවුන් අපේ සායනවලට ගෙන්වාගත යුතුයි. ඒ තුළින් අපි ඔවුන් වෙනුවෙන් සායන පවත්වා නිසි දැනුම්වත් බව ලබාදෙනවා. සමාජ රෝග හඳුනාගැනීමට රුධිර පරීක්ෂාවන් සිදුකරනවා. ආරක්ෂිත ලිංගික ක්‍රමවේදයන් පිළිබඳ දැනුම ලබාදෙනවා. ඒ ආකාරයට ලිංගික සංක්‍රාන්ති පුද්ගලයින් අතරින් එච්.අයි.වී අවදානම දුරුකිරීම තුළින් මුළු සමාජයටම ආරක්ෂාවක් සහ ආවරණයකුත් සැලසෙනවා. එම නිසා මෙය එක් සුළු පිරිසක් වෙනුවෙන් කරන දෙයක් නොව මුළු මහත් සමාජයේම ශාරීරික මානසික සෞඛ්‍යය රැකගැනීම වෙනුවෙන් කරනු ලබන සේවාවක් ලෙස හඳුන්වන්න පුළුවන්.


එච්.අයි.වී ඒඞ්ස් ඒකාබද්ධ වැඩසටහනෙහි ශ්‍රී ලංකා ජාතික කළමනාකරු වෛද්‍ය දයානාත් රණතුංග

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 + 6 =

සබැඳි ලිපි

Back to top button
Close