සමාජ

ළමා විවාහ සහ ලමයින් පැවිදි කිරීම

මවකට සහ පියෙකුට දාව ඉපදෙන දරුවෙකු වැඩිහිටියෙකු බවට පත්වෙනවා යැයි සලකන්නේ, එනම් ලමා වියෙන් ඔබ්බට යනවා යැයි සලකන්නේ නීතිමය වශයෙන් වයස අවුරුදු 18 දීය. එනම් යෞවන වියෙන් පසුවය. එයට ජෛවමය වශයෙන් සහ නීතිමය වශයෙන් හේතු රැසක් ඇත. මිනිස් මොලයේ සීඝ්ර වර්ධනයක් පෙන්වන මෙම අවධියෙන් පසුව, එම තැනැත්තාට කිසියම් දෙයක් ගැන ස්වාධීන තීරන ගැනීමට නීතියෙන් අවසර ඇත. ලංකාවේ විවාහ වීමේ අවම වයස තීරණය වී ඇත්තේ මෙයට අනුවය. කෙටියෙන් කියනවානම් මිනිසෙකුගේ මොලයට ස්වාධීනව සාර්ථක තීරණ ගැනීමට හැකිවන පොදු අවම වයස අවුරුදු 18 යැයි නීතියෙන් පිලිගෙන ඇත.

මෙවැනි තත්වයක් ඇති පසුබිමක් තුලදී ආගම්වාදී “පින් තන්හාව” නමැති ලේබලය සිතේ හංවඩු ගසා ඇති සමහරක් බෞද්ධ පැවිද්දන් හයක් හතරක් නොතේරෙන කුඩා දරුවන් පැවිදි කිරීමට ඉල්ලා සිටීම සැබැවින්ම කණගාටුදායකය. තම දෙමාපිය සෙවනේ කෙලිදෙලෙන් කල් ගෙවිය යුතු කුඩා ලමයින් “දරුවන් සාසනයට පූජා කිරීම” යනුවෙන් හැදින්වෙන පින ලබා ගැනීම උදෙසා පන්සලට පැවරීම කුමන අරමුණක් යටතේ වන්නක්ද යන්න සැබැවින්ම සොයා බැලිය යුතුය. අන්ධ භක්තියෙන් පෙලෙන්නෙකු තම දරුවා පන්සලට පවරාදීම “අනේ වාසනාවන්, පින් අතේ වැඩක්” ලෙස සලකන බොහෝ අය තම දරුවා මහණ කිරීමට ඉදිරිපත් වන්නේද නැත. නමුත් ඉහත කී ක්‍රියාවට එරෙහි වන්නේද නැත. මන්ද යත් තම දරුවා තමා ලග තබා ගත යුතු මෙන්ම, ආගමද සුරැකිය යුතුය යන්න පිලිබද මදක් මෝඩ අදහසක් යටිහිතේ ඇති නිසාය. මෙහි මිනිසුන් වර්ග තුනකි. හයක් හතරක් නොතේරෙන පොඩි එකාට සිවුරක් පෙරවීම කොතරම් අනුවන දෙයක් දැයි තම යටිහිතින් දන්නා නිසා තම දරුවන් මහණ නොකරන නමුත් ආගම රැකගැනීම ගැන චීවරධාරීන් දෙන මත නිසා අන් අය ලමයින් පැවිදි කිරීමට විරුද්ධ නොවන අය ඉන් එක් කොටසකි. අනිකුත් කොටස එම කිසිම දෙයක් නොතේරෙන මතුපිටින් පමනක් බලා තමන්ගේ දරුවා පවා පැවිදි කොට ඔහුගේ ළමා කාලය නැති කරන අයයි. මෙහි මූඨම කොටස නම් කේන්දර වල ග්‍රහ පිහිටීම් නිසා තම දරුවන් පැවිදි කරන අම්බරුවන් ය. අප සිටින ස්ථානයට වඩා ආලෝක වර්ශ ගනනාවක් එපිටින් පිහිටි ග්‍රහලෝක වල පිහිටීම් නිසා තම දරුවාගේ අනාගතය තීරණය කිරීමට පෙළබීම ඉතා කණගාටුදායක තත්වයකි. කෙනෙක් අසනීප වූ පසු උගත් වෛද්‍යවරයෙක් ලඟට ගෙනනොගොස් දෙවියන් ලග යදින සමාජයක ඉහත තත්වය එක් අතකින් පුදුමයක්ද නොවේ. කෙසේ වෙතත් කිසියම් කෙනෙකු වයස 18 න් පසු පැවිදි වීම පිලිබද අපට ගැටලුවක් නැත. ඒ ඔහුගේ ස්වාධීන තීරණයයි. ඊට වඩා ලාබාල ලමුන් ඔවුන්ගේ නොතේරුම් කමට මහණ කිරීම ඉතා අනුවන ක්‍රියාවකි.

ළමා විවාහ ගැනද කියන්නට ඇත්තේ ඉහත තර්කයමය. එක්තරා තකතීරු සංගමයක් විසින් වයස 18 ට අඩු ගැහැනු දරුවන් විවාහ කිරීමට නීතියෙන්ම අවසර ඉල්ලීමට තරම් රටේ සදාචාරය පහලට වැටී ඇත. එහි ඇති වඩාත්ම කණගාටුදායක තත්වය වන්නේ එම ඉල්ලීම කරන උද්ඝෝෂණයට කාන්තාවන්ද සහභාගී වී සිටීමය. මෙය දැඩි ආගමික බලපෑමක් මත වන්නක් බවට අන් නිදසුන් අවශ්‍ය නැත. තමන් 18 වන වියට පත් වූවායින් පසු කවුරු සමග විවාහ වුවද එහි ප්‍රශ්නයක් නොමැත. මන්ද යත් ස්වාධීන තීරණයක් ගැනීමට තරම් සාමාන්‍ය බුද්ධියක් එවැනි වයසක අයෙකුට තිබෙන නිසාය. නමුත් එවැනි වයස්වල අය පවා ඉතා වැරදි තෝරාගැනීම් වලින් මට්ටු වන අවධියක ඊට වඩා ඉතා ලාබාල මල් කැකුලු විවාහ කරවීමට උත්සාහ කිරීම ඉතා ජුගුප්සාජනක ක්රියාවකි. මෙය මුස්ලිම් අන්තවාදය වන අතර කිසිසේත්ම එවැනි මිලේඡ්චත්වයකට ඉඩ නොදීමට කැප වීම සියලු ශ්‍රී ලාංකිකයන්ගේ වගකීමක් වන්නේය. මෙය ඉහත කී ළමා පැවිදි කිරීමේ වැරැද්ද මෙන් තවමත් ඔඩු දුවා නැත. එයට හේතුව මෙම නීතිය සම්මත කිරීමට සභ්‍ය සමාජයේ සියලුම දෙනා එකහෙලා විරුද්ධ වීම නිසාය. මෙයට සැබෑ ලෙසම විරුද්ධ විය යුත්තේ මුස්ලිම් ජනසමාජයේම කාන්තාවන් වන අතර ඔවුන්ගෙන් එවැන්නක් නොපැමිණීම ඉතා කණගාටුදායකය.
කුඩා ළමයින්ගේ ළමා කාලය නැති කරන ඉහත කී කාරණා දෙකම ලංකාවෙන් මුලිනුපුටා දැමිය යුතුය. වයස 18 න් පසුව තමන් කුමක් කලත් එහි වගකීම තමන් ගත යුතු නිසා එහි නීතිමය හෝ සදාචාරමය වශයෙන් ප්‍රශ්නයක් නොමැත. ජීවිතය ගැන හයක් හතරක් නොතේරෙන කුඩා දරුවන් ගේ අනාගතය දෙමාපියන්ගේ මෝඩ තීරණ වලින් විනාශ වීම වැලැක්වීමට සභ්‍ය සමාජය එකාවන්ව නැගී සිටිය යුතුය.

ස්තූතියි


තරුණ මානවවාදියා

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × three =

සබැඳි ලිපි

Back to top button
Close