සෞඛ්‍ය

ඉකිලි කැසීමේ රෝගය ඔයාටත් තියෙනවාද….?

සමේ රෝග යනු කායිකව පමණක් නොව මානසිකවද බොහෝ පීඩාවන් ඇති කරනු ලබන රෝග තත්ත්වයකි. ඇතැම් අවස්ථාවලදී ශරීරයේ ප්‍රදේශයන් අනුව අපට වෛද්‍යවරයකුට පෙන්වීම පවා අපහසුතාවන්ට පත්වන සමේ රෝග තිබේ. එලෙස සමේ රෝග ඇතිවන ප්‍රදේශයක් ලෙස ඉකිළි ප්‍රදේශය පෙන්වා දිය හැක. ඉකිළි ආශ්‍රිතව වණ වීම හෝ කැසීමක් ඇතිවීම සමේ රෝගයකි.

ඉකිළි වණවීමට හේතු
කපු නොවන යට ඇඳුම් භාවිතය නිසා දහඩිය දැමූ විට එම දහඩිය ඇඳුම්වලට උරා ගැනීම ඉතා අවම ලෙස සිදුවේ.

නිරතුරුවම ආවරණය වී තද වී තිබිම නිසා බැක්ටීරියා වර්ධනයට අවශ්‍ය (සුළු රස්නයක්) උෂ්ණත්වයක් ලැබිමත් මෙලෙස ඉකිළි ආශ්‍රිතව තුවාල වීමට හේතු වේ.

ඉකිළි ප්‍රදේශය නිරතුරුවම තද වී, ඇඳුම්වලින් ආවරණය වී තිබිම නිසා මෙන්ම එම නැවෙන ස්ථානවලට නිරන්තරයෙන් දහඩිය දැමීමත්, දහඩිය එම ස්ථානවලම රැඳීම හේතුවෙන් බැක්ටීරියාවන්ට ඉතා හොඳින් වර්ධනය විය හැක. එලෙස බැක්ටීරියා වර්ධනයට අවශ්‍ය ප්‍රධාන සාධකවලින් එකකි. දහඩිය දැමීම මගින් හොඳින් එම ප්‍රදේශයේ බැක්ටීරියා වර්ධනය වේ. ඒ හේතුවෙන්ද ඉකිළි ප්‍රදේශ වණ වීමට ලක්වේ.

ඇඳුම් කිහිපයක් එක උඩ එක ඇඳීමත් මෙම තත්ත්වයට හේතුවකි.
මෙම රෝගයේ ප්‍රධාන ලක්ෂණය වන්නේ ඉකිළි ප්‍රදේශය කැසීම වුවද ඒ හා සමාන තවත් රෝගයන් කිහිපයක් පවතී. නමුත් මෙම රෝගවල රෝග ලක්ෂණයන් එකිනෙකට වෙනස් වේ.

එලෙස ඇතිවිය හැකි රෝග
දිලීර ආසාදනයන් නිසා ඇතිවන කැන්ඩිඩා රෝගය. මෙම රෝගය නිසා ඉකිළි ප්‍රදේශය තද රතු පැහැයක් වීම මෙන්ම කැසීමද පෙන්වා දිය හැක.

‘කසානා’ රෝගය ඉකිළි ආශ්‍රිතව ඇතිවේ. මෙය බහුලව සුළු වැරදි සඳහා හිරගෙදරට යන බහුතරයකට ඇතිවන අතරම, වැඩිහිටි නිවාසවල ජීවත්වන්නන්ට, හමුදා සේවයේ නියුක්ත වූවන්ට මෙන්ම පාසල් දරුවන්ටද දැකිය හැක. පාසල් දරුවන්ගේ මෙම රෝගය ගෙඩි හෝ පළු ලෙසද ඇතිවිය හැක.

ඉන්ටර්ට්‍රිගෝ(Intertrigo)
මෙම රෝගයේදී ඉකිළි කැසීම, උඩු සම රෝල් වී ගැලවී යෑම (කුණු යන ආකාරයට) රතුවීම හා ඉකිළි කැපීමක් සිදුවූ ආකාරයෙන් දිස්වේ.

Coryne Bacteria යන බැක්ටීරියාව නිසා වැඩිපුර දහඩිය දමන තරබාරු පුද්ගලයන්ට Erythrusma යන රෝගය ඇතිවිය හැක. මෙය දුඹුරු පැහැති කුඩා ලප ඇතිවීමේ තත්ත්වයකි.

සමට විශේෂිත දිලීර ආසාදනයන් (Dermatophyte Fungal Infections)
කුඩා කාසියක් ආකාරයට පෙනෙන මෙය සුදු පැහැති රවුම් ලෙස ලප මතුවේ. තවද මෙම රවුමේ මැද කොටස සුව වී වටේ පැතිරෙමින් පැවැතීම මෙහි විශේෂත්වයකි. මෙම රවුම් ඉකිළි ප්‍රදේශයේ සිට දණහිස ප්‍රදේශය දක්වා පැතිරී යා හැක.

බොහෝ විට මෙය පාසල් ළමුන්, හමුදා සේවයේ නියුක්ත වූවන්, නේවාසිකාගාරවල සිටින්නන්, ක්‍රීඩා කරනු ලබන්නන්, කම්කරුවන් වැනි පුද්ගලයන්ගෙන් බෝවිය හැක.

තවද මුදල් හරහාද මෙය පැතිරී යනු ඇත.
‘රක්තය’ මෙම රෝගද ඉකිළි ප්‍රදේශයේ ඇතිවිය හැක. ඇතැමුන් සාක්කුවට අත දමා කසනවා ඔබ දැක ඇත. මෙම අවස්ථාවේදී කලවයේ උඩ කොටස ගොරෝසු වී සම ඝනවීමක්ද මෙවැනි පුද්ගලයන්ගේ දැකිය හැක. එය Lichen Simplex Chronicus පාසි වර්ගයට සමාන ලෙස හඳුන්වනු ලැබේ.

ප්‍රතිශක්තිකරණය අඩු, එනම් ඒඩ්ස් වෛරසය ශරීරගත වූවන්ට, දියවැඩියා රෝගීන්ට, ගර්භණී මව්වරුන්ට මෙන්ම ප්‍රතිජීවක ඖෂධ දිගුකාලීනව ලබාගන්නවුන්ටද ඉකිළි ප්‍රදේශයේ ඉරි මෙන් කැපීම් ඇතිවිය හැක. මෙලෙස ඇතිවන ඉරිවලට සෙන්ටිමීටරයක් පමණ ඈත ප්‍රදේශයේ රතු පැහැති කුඩා ලප දැකිය හැකි වේ. මෙය Satellite Infections චන්ද්‍රකාවක හැඩැති ආසාදනයක් ලෙස හඳුන්වනු ලබයි. වයස අවුරුදු 40-45 වැනි පුද්ගලයන්ගෙන් සියයට 10ත් 25ත් අතර ප්‍රතිශතයකට මෙමගින් දියවැඩියා රෝගය වැලඳී ඇති බව සොයාගෙන ඇත.

* කුඩා දරුවන්ට ඇතිවන කිරි ඉන්නෝ නිසාද මෙලෙස ඉකිළි කැසීමකට ලක්විය හැක.

* ‍පොතු කබර (Inverst Psoriasis) රෝගය නිසා ඉතා කලාතුරකින් ඉකිළි ප්‍රදේශය ආශ්‍රිතවද ඇතිවිය හැක. ඉකිළිවල ඇති දාර ප්‍රදේශය රතු පැහැ වී කැපී ඇති ලෙස දිස්විය හැක.

* පිරිසිදුකම පිළිබඳව වැඩිපුර තැකීමක් නොකරන ඇතැම් පුද්ගලයන් තුළ උකුණන් විශේෂයක් ඇතිවිය හැක. මෙම උකුණෝ නිසාද ඉකිළි කැසීම, වණ වීම සිදුවිය හැක.

නොයෙකුත් අසාත්මිකතාවන් නිසාත් මේ ආකාරයෙන් ඉකිළි කසා වණ විය හැක.

කොණ්ඩම්වල රබර් අසාත්මික වීම මෙන්ම පර්ස්වල ලෙදර් ආදියද අසාත්මික විය හැක.

ලිංගාශ්‍රිත ඉන්නන් නිසාද මේ ආකාරයට ඉකිළි කැසීම ඇතිවිමේ ඉඩකඩ පවතී.

මෙම තත්ත්වයේදී වෛද්‍යවරයකු වෙත ගිය විටදී ගිලින ඖෂධ, ආ‍ලේපයන්ද, විශේෂිත දිලීර නාශක පවුඩර් වර්ගද අදාළ රෝගයට සුදුසු ලෙස දෙනු ලැබේ.

මේ සඳහා පිළිපැදිය යුතු කරුණු
කපු ඇඳුම් නිරන්තරයෙන් භාවිත කිරීම
එකම ඇඳුම නිරතුරුවම ඇඳීමෙන් වැළකීම
ළදරු සබන් වැනි මෘදු සබන් වර්ගයක් භාවිත කිරීම
පිරිසිදුකම හොඳින් රැක ගැනීම
නියම කරනු ලැබූ ඖෂධයන් නිසි පරිදි නියමිත කාලයට ගැනීම
හිතුමනාපයට ආ‍ලේපන හා ඖෂධ භාවිත නොකිරීම
මෙවැනි රෝගී තත්ත්වයන් හමුවේ බොහෝදෙනකු වෛද්‍යවරයකු වෙත යෑමට ලැජ්ජාවක් දක්වයි. නමුත් එසේ නොසිට හැකි ඉක්මනින් පළපුරුදු සමේ රෝග විශේෂඥවරයකු වෙත ගොස් ප්‍රතිකාර ලබාගැනීමෙන් ගත මෙන්ම සිතද ඉක්මනින් සුවකරගත හැකි වේ.


සටහන -දුලානි ජයතිස්ස
සමේ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අජිත් කන්නන්ගර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × 5 =

සබැඳි ලිපි

Back to top button