දැනුම

sex කියන්නේ මොකක්ද?

ලිංගික අධ්‍යාපනය කියන්නේ ලිංගික හැසිරීම්, ලිංගික ක්‍රියාකාරීත්වය, ලිංගික ප්‍රජනනය, ලිංගික හැඟීම්, ප්‍රජනන සෞඛ්‍ය, ප්‍රජනන අයිතිය, ආරක්‍ෂිත ලිංගිකත්වය, උපත් පාලනය, ලිංගික රෝග, ලිංගිකත්වය සම්බන්ධ මානසික රෝග, ලිංගික හිංසනය වැනි ලිංගිකත්වය සම්බන්ධ ඕනෑම දෙයක් පිළිබඳව අධ්‍යනය කිරීමයි. මේ සියලුම අංශ ආවරණය වන පරිදි ලබන අධ්‍යාපනය පුළුල් ලිංගික අධ්‍යාපනයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ලිංගික අධ්‍යාපනය පාසලේදී සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය වැනි විෂයයක, එක් පාඩමකට හෝ පාඩම් කිහිපයකට සීමා වෙන්නේ නැතිව පාසලෙන්, පවුලෙන්, දහම් පාසලෙන් පවා ඉගැන්විය යුතු පුළුල් විෂයයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ විභාග සමත්වීමට නෙමෙයි, ජීවිතය සමත්වීමට උදව්වන දැනුම් සම්භාරයක් විදියටයි.

ලිංගිකත්වය කියන්නේ ගැහැනියක් සහ පිරිමියෙක් ලිංගිකව එකතු වීමක් විතරක්ම නෙමෙයි. හරියටම ලිංගික අධ්‍යාපනය කියන්නේ මොකක්ද කියලා බැලුවොත් ශාක සහ සත්ත්ව ලිංගිකත්වයත් මේ විෂයට අයිති වෙනවා. ඒ විතරක් නෙමෙයි තනි පුද්ගලයාගේ සිට, පවුල, සමාජය සහ රට දක්වා ලිංගිකත්වය කියන විෂයය පුළුල්ව සාකච්චා කිරීමට පුළුවන් කමක් තියෙනවා.

සාම්ප්‍රදායිකව ගත්තම, අතීතයේදී ලෝකයේ බොහෝ සංස්කෘතීන් තුළ නව යොවුන් වියේදී ලිංගික අධ්‍යාපනය ගැන වැඩි උනන්දුවක් දක්වලා තියෙන බවක් පෙනෙන්නට නැහැ. හොඳින් අධ්‍යනය කලාම ඒ ඒ සංස්කෘතීන්ගේ ආගමික බලපෑම මත ලිංගික අධ්‍යාපනය දරුවන්ට ලබා දීම මව් පියන් හරහාම අත්හිටුවලා තියෙන බව පැහැදිලි වෙනවා. 19 වන සියවසේ අගභාගයේ ප්‍රගතිශීලී අධ්‍යාපන ව්‍යාපාරය උතුරු ඇමරිකාවේ පාසල් විෂයමාලා හරහා ‘පාසල් ලිංගික අධ්‍යාපන’ විෂය සහ ‘සමාජ සනීපාරක්ෂක’ විෂය පාසල් අධ්‍යාපනයට එකතු කරලා තියෙනවා. නමුත් විවිධ බලපෑම් මත එම අධ්‍යාපනයට සීමාවන් පැන නැගුනු නිසා ඒවා වැඩිකල් පැවතිලා නැහැ.

20 වන සියවස මැද භාගයේ ලිංගික කාරණා පිලිබඳ තොරතුරු හුවමාරු වෙලා තියෙන්නේත්, නව යොවුන් වියේ පසු වන්නන් ඒ පිළිබඳ ඉගෙනගෙන තියෙන්නෙත් මිතුරන්ගෙන් සහ නිවැරදි තාවය ගැන සහතික වෙන්න අපහසු විවිධ මාධ්‍යයන්. විශේෂයෙන්ම බටහිර රටවල 1960 ගණන්වලින් පසුව නිසි වයස සම්පුර්ණ නොවූ ගැහැණු දරුවන් ගැබ් ගැනීම් වැඩිවීම නිසා මෙම අධ්‍යාපනයේ අවශ්‍යතාවය ඉතාමත් වැඩි වෙලා තියෙනවා. ඒනිසා බටහිර රටවල්වල අධ්‍යාපනයේ කොටසක් ලෙස ලිංගික අධ්‍යාපනය ඇතුලත් කලත් එය ආරම්භයේදීම එරට දරුවන්ගේ මාපියන් සහ ආගමික කණ්ඩායම් විසින් එයටත් විරෝධතාවය දක්වලා තියෙනවා. නමුත් අතීතයේ එසේ වූවත් වර්තමානය වනවිට ඔවුන් ලිංගික අධ්‍යාපනයෙන් බොහෝ ඉදිරියෙන් සිටිනවා. පැරණි හණමිටි අදහස්වලින් බැහැරවී, සංස්කෘතියේ ජීවන රටාවේ අඩුපාඩුවක් ඇත්නම් ඒවා නිවැරදි කරගෙන ආකල්පමය සංවර්ධනයක් ඔවුන් ලබාගෙන තිබෙනවා.

ලිංගික දැනුම ගැන කතා කරනකොට සරලව ලෝකයේ බහුතරයක් රටවල් එ ව්දියට වෙනස් වෙද්දී, ශ්‍රී ලංකාව කියන අපේ රට ඊට හාත්පසින්ම වෙනස්. ඒ වෙනස මොකක්ද කියන එක මෙන්න මේකයි කියලා ඇඟිල්ලෙන් ඇනලා තේරුම් කරලා දෙන්න අවශ්‍ය නැහැ. මොකද ශ්‍රී ලංකාවේ ජීවත් වෙන බහුතරයක් දන්නවා අපි හරි වෙනස් රටක් කියලා. අපේ රටේ පවතින ආගමික සහ සංස්කෘතික රටාව තුල ලිංගික අධ්‍යාපනය කියන විෂයය භාර ගන්න කීයටවත් කැමති වෙන්නේ නැහැ. අඩුම තරමේ පාසලේ, දහම්පාසලේ හෝ පවුලේදී අපේ දරුවෙකුට ලිංගික අධ්‍යාපනය දීම මහා පාප කර්මයක් විදියටයි මේ සමාජයම හිතාගෙන ඉන්නේ.

කුණු හරප හැරුනහම ලිංගික අවයවයන්ට කියන විද්‍යාත්මක නම් පවා නොදන්න, ඒඩ්ස් වගේ භයානක රෝග තියෙනවා කියලා නොදන්න, සිපගැනීමකදී දරුවන් ලැබෙනවා කියලා සිතන, නමුත් sex කියන වචනෙටත් මරණ භය දැනෙන හැබැයි internet එකේ භය නැතිව sex හොයන සාමාන්‍ය ලිංගික දැනුමක්වත් නැති මිනිසුන් ඉන්න රටකට ලිංගිකත්වය ගැන කියලා දෙන්න අපි උත්සහ කරනවා.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 + ten =

සබැඳි ලිපි

Back to top button
Close