සමාජ

sex සහ ලංකාව

ලිංගිකත්වය කියන්නේ ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නෙමෙයි. හැබැයි ලිංගිකත්වය කියපු ගමන් අපේ උදවිය හැසිරෙන්නේ ලිංගිකත්වය කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැහැ වගේ. හැබැයි ඒ කොටසක් විතරයි. තවත් සමහර කොටසක් ඉන්නවා ලිංගිකත්වය කියපු ගමන් යුධ ප්‍රකාශ කරන. හැබැයි ඔය කොහොම වුනත් අපේ රටේ ලිංගික අධ්‍යාපනය කියලා තියෙන්නේ 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පාසලේ තියෙන ශාරීරික අධ්‍යාපනය විෂයයේ තියෙන පාඩම් හය හතක් විතරයි. ඒ හැර ගුරුවරයෙක් ලිංගිකත්වය ගැන ළමයෙකුට කියලා දෙන්න බොහොම ලැජ්ජයි. හුඟක් වෙලාවට වෙන්නේ අර මුලින් කියපු සෞඛ්‍ය පොතේ තියෙන පාඩමත් තනියම කියවගන්න කියලා ගුරුවරයත් පැත්තකට වෙන එක. ඒකෙන් වෙන්නේ ශිෂ්ණය, යෝනිය කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැති හැබැයි ඒ අවයවයන්ට කියන කුණු හරප හොඳින් දන්නා සිසුන් කිහිපදෙනෙක් හරි පාසලෙන් බිහිවන එක.

පාසල විතරක් නෙමෙයි, පවුල තුලත් දරුවෙකුට ලිංගික අධ්‍යාපනයක් ලැබෙන්නේ බොහොම අඩුවෙන්. ඒ අහම්බය පාසලේ ඉගෙන ගන්නා ප්‍රමාණයටත් වඩා බොහොම අඩුයි කියලා භය නැතුව කියන්න පුළුවන්. අම්මෙක් තාත්තෙක් තමන්ගේ නව යොවුන් වියේ ඉන්න කොල්ලෙක්ව, ළඟ පාත ගෙදරක කෙල්ලෙක්ගේ කොටහළු උත්සවයකටත් එක්කං යන්නේ ඒ අක්කාගේ නැතිනම් නංගිගේ උපන්දිනේයැයි කියලයි. මේ එක උදාහරණයක් විතරයි. තමන්ගේ ලිංගික ප්‍රශ්නයක් එහෙමත් නැත්නම් නොතේරෙන ලිංගික විපර්යාසයක් අම්මෙකුට තාත්තෙකුට කියන්න පුළුවන් තත්වයක් මේ රටේ තියෙනවද? තිබුනත් බොහොම කලාතුරකින් තමයි.

ඊළඟට දහම්පාසල…. දහම්පාසල කියන ඒකෙන් පාසලේ විෂය නිර්දේශය උගන්වනවා හැර වෙන යමක් උගන්වන්න බැරි තැනටම දහම්පාසලත් දැන් පත්වෙලා. දැන් ළමයි දහම්පාසල් යන්නෙත් විභාගෙකට උත්තර ලියන බලාපොරොත්තුවෙන්. නමුත් ඉස්සර දහම්පාසල කියන එක වෙන ස්වරුපයක් තිබුනේ. හැබැයි මොන ස්වරූපය තිබුනත් දහම්පාසලක් තුල ළමයෙකුට ලිංගික අධ්‍යාපනය ලබා දීමක් අපිට දකින්නට ලැබිලා නැහැ. ටිකක් හොයලා බැලුවම කතෝලික දේවස්ථාන කිහිපයක දහම්පාසල් වල නම් ලිංගික අධ්‍යාපනය ටික ටික දරුවන්ට ලබාදෙනවා කියලා දැනගන්න ලැබුනා. හැබැයි සමස්ත දහම්පාසල් පද්ධතියේ ලිංගික අධ්‍යාපනයක් ළමයෙකුට දෙනවා කියලා නම් තොරතුරක් දැනට අපිට ලැබිලා නැහැ. කොහොම වුනත් අපි කියන්නේ ළමයෙකුට ලිංගික අධ්‍යාපනය දෙන්න හොඳම තැන දහම්පාසල කියලයි.

දැන් ඔය ඔක්කොම පැත්තක දාලා ලංකාවේ තියෙන විද්‍යුත් මාධ්‍ය ගැන පොඩ්ඩක් බලපුවම ළමා, කාන්තා අපචාර වගේ දේවල් ඒ මාධ්‍ය කාරයන්ට විකුණන් කන්න කියාපු දේවල්. තවත් කෙනෙකුගේ ලිංගික හැඟීම් උත්දීපනය වෙන විදියට ඒ සිදුවීම් රහ කරලා කියන්න, පෙන්නන්න, අලුත් විදියට ඒ කතන්දර ගොතන්නත් ඒ අය හරි දක්ෂයි. හොඳම උදාහරණය අහවල් එක ඇහුවොත් සල්ලි තමයි කියන සිල්වා පරපුරේ මාධ්‍ය ජාලය. ඔවුන්ගේ ටෙලිවිෂන් නාලිකාව සහ වෙබ් මාධ්‍යයේ පලවෙන දේවල් දැක්කම හිතෙන්නේ නිල චිත්‍රපට තියෙන වෙබ් අඩවි ඊට වැඩිය හොඳයි කියලා. තවත් සමහර මාධ්‍ය වල විකාශය වන නාට්‍යවල පාසල් ළමයා පවා පෙන්වන්නේ කාම ධේනුවකගේ ස්වරූපයෙන්. මොකද එතකොට තමයි කොල්ලෝ කෙල්ලෝ වට වෙලා ඒ දිහා බැලුවාම ratings වැඩි වෙන්නේ. ඉතින් අපේ රටේ ගෙවල්වල ඉන්න අනුන්ගේ කටවල් දිහා කෙල හල හලා බලාගෙන ඉන්න බල්ලාගේ ඉඳන් ගෘහ මූලිකයා දක්වා ඒ ආතල් එක කාටවත් නොතේරෙන්න විඳිනවා.

ඊළඟ කාරණාව තමයි කොල්ලෙක්ට කෙල්ලෙක්ට සභ්‍ය විදියට Galle Face එකට වෙලා, ගහක් යටට වෙලා love කරන්න බැරි තත්වයක් උදා වෙලා තියෙනවා. අපි කියන්නේ හැම කොල්ලා කෙල්ලම සභ්‍ය විදියට love කරනවා කියලා නෙමෙයි. හැබැයි එහෙම කලත් නොකලත් love කරන කොල්ලෝ කෙල්ලන්වත් පොලීසියෙන් අල්ලන, එළවන තැනට පත් වෙලා තියෙනවා. ඉසුරුමුණියේ හෙළුවෙන් ඉන්න පෙම්වතුන්ගේ කැටයම ගැන අපේ මිනිස්සු බොහොම උජාරුවෙන් කතා කරද්දී, ඇඳුම් ඇඳගෙන ඉන්න කොල්ලෙකුට කෙල්ලෙකුටවත් ලඟින් ඉඳන් ඉන්න බැරි තැනට මේ රට පත්වෙලා තියෙනවා වගේම, පන්සලකට කෙල්ලෙක්ට කොල්ලෙක්ට එකට යන්න බැරි තරමට සංස්කෘතික සහ ආගමික විරෝධතාවයක් මේ රටේ ගොඩනැගිලා තියෙනවා.

මේ හැම කාරණාවක් දිහාම බැලුවම අන්තිමට තාත්තෙකුට දුවෙක් පෙන්නේ නැති ගානට, වැඩිහිටියෙකුට කුඩා දරුවෙකු හඳුනාගන්නට බැරි ගානට මේ අවුරුදු 2500 හෝ ඊට වැඩි ඉතිහාසයක් තියෙන ප්‍රෞඩ රටේ සාඩම්බර සංස්කෘතිය විකෘති වෙලා තියෙනවා. හැමදාම වංශය කබල්ගාන සංස්කෘතික කාරයෝ ටිකට ජාතිය ආරක්ෂා කරගැනීම හැර මේ වගේ දේවල් අවම කරගැනීමට වුවමනාවක් නැති බවත් පෙනෙන්නට තියෙනවා.

එහෙම බැලුවම ලිංගික අධ්‍යාපනය අඩු කම නිසා මේ රට මුහුණ පාලා තියෙන මේ ගැටලුවට වගකියන්න ඕනේ කවුද? අපි මේ කිව්වේ පොඩි පොඩි උදාහරණ ටිකක් විතරයි වගේම මේ පටන් ගැන්මක් විතරයි…..

අපි දිගටම කතා කරමු….

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

thirteen + seven =

සබැඳි ලිපි

Back to top button
Close