සමාජ

සනීපාරක්ෂක තුවා (Sanitary Pads) සෙස් බද්ද ඉවතට

කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා (Sanitary Pads) සඳහා පනවා තිබු සියයට 40කට ආසන්න සෙස් බද්ද ඉවත් කිරීමට රජය පියවර ඇත.

අමාත්‍යංශයේ ඉහල නිලධාරීන් පිරිසක් සමග අද(19) පස්වරුවේ මුදල් අමාත්‍යංශයේ පැවති සාකච්ජාවකින් අනතුරුව මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මෙම තීරණය ගෙන ඇති අතර ඊට අදාල ගැසට් නිවේදනය හෙට නිකුත් කිරීමට නියමිතය.

මෙරට 52%ක් පමණ වන කාන්තා ජනගහනය තම ජිවිත කාලයේ දී අනිවාර්යෙන් අත්විඳින ආර්ථවය සඳහා අත්‍යවශ්‍ය කාන්තා ‘සනීපාරක්ෂක තුවා’ (Sanitary Pads) සඳහා පනවා ඇති ඇතැම් බදු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා පසුගිය දින කිහිපයෙහි බලවත් විරෝධයක් මතුකර තිබු අතර ඒ පිළිබඳව රජයේ අවධානය යොමුකල යුතුව ඇති බව ‘අපේ ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය’ ඊයේ (18) මාධ්‍ය හමුවක් කැඳවමින් ද ඉල්ලීමක් කර තිබිණ.

Amanda Abesooriya ගේ FB සටහන

මෙම කාරණය සම්බන්ධයෙන් මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අවධානය යොමු කරමින් අමන්දා අබේසුරිය (Amanda Abesooriya) සිය FB පිටුවේ පලවී තිබු සටහන පහත පළවේ.

Mangala Samaraweera අමාත්‍යතුමනි,

දින කීපයක් තිස්සේ සමාජ මාධ්‍ය ජාලා හරහා කතාබහට ලක්වෙන, සනීපාරක්ෂක තුවා සහ ආශ්‍රිත නිෂ්පාදනයන්ට පැනැවෙන අසාධාරණ බදු පිළිබඳව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් ඇමැතිවරයා වන ඔබ දැනුවත් ඇතැයි සිතමු. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මෙන්ම වෙබ් මාධ්‍ය, සමාජ මාධ්‍ය පිළිබඳව ද නිරන්තර අවධානයෙන් පසුවන්නකු ලෙස ඔබ මේ වනවිටත් ඒ පිළිබඳව දැනුම්වත් නොවීමට හේතුවක් නැත. එහෙයින් මේ ලියැවිල්ල ඔබ මේ කතිකාව දන්නවා ය යන උපකල්පනය මත පදනම්ව ලියමු.

අමාත්‍යතුමනි, ලංකාවේ කාන්තා ජනගහණයෙන් මිලියන 4.2ක් මාසිකව ආර්ථවය අත්විඳින නමුත් සනීපාරක්ෂක තුවා හෝ ටැම්පොන් භාවිතා කරන්නේ මෙයින් 30%ක් පමණි. ඉතිරි 70%ක පිරිස කිසිදා ජීවාණුහරණය නොකෙරෙන රෙදි කඩමාළු කැබලිවල සිට ගෝනි රෙදි කැබලි දක්වා විවිධ වූ දේ භාවිතා කරති. මේවා භාවිතය සෞඛ්‍යයට අනාරක්ෂිත වනවා පමණක් නොව, ප්‍රායෝගිකව ද ගැටළුකාරී තත්ත්වයන් ඇති කරයි.

අමාත්‍යතුමනි, ලංකාවට ආනයනය කෙරෙන සනීපරක්ෂක තුවා සහ ටැම්පොන් සඳහා පැනවෙන බද්ද 101.2%කි. එයට 15%ක VAT බද්දකුත්, 30%ක රේගු බදුත්, 2%ක ජාතිය ගොඩනැඟීමේ බදුත් ඇතුළත් වේ. මේ සියලු බදු එක්වූ පසු සනීපාරක්ෂක තුවාවල මිල දෙගුණයකින් ඉහළ යන අතර, ඒ වෙළෙන්දාගේ ලාභය නොසලකා ය. මෙසේ අධික බදු ගැසීමෙන් අනතුරුව විකිණීමට පෙර වෙළඳුන්ගේ ලාභය ද එයට එකතු වීම අනිවාර්ය කරුණකි.

එසේනම් ආනයනිත තුවා වෙනුවට වඩා ලාභදායක දේශීය තුවා වර්ග භාවිත කළ නොහැක්කේ මන්දැයි ගැටළුවක් පැනනැඟිය හැකි ය. එවැනි අඩුමිල දේශීය නිෂ්පාදන වෙළඳපොළේ ඇති බව සත්‍යයකි. එහෙත් ඒවායේ ප්‍රමිතියේ සහ නිමාවේ පවතින ගැටළු නිසා භාවිතයේ දී කාන්තාවන්ට මුහුණ පෑමට සිදුවන අපහසුතාවන් විවිධ ය. බොහොම ය.

එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදලට අනුව, තවමත් ශ්‍රී ලංකාවේ 60%ක් දෙමාපියන් තම දියණියන්ව ඔසප් සමයේ දී පාසැල් නොයවයි. මෙයට හේතුවන්නේ ආර්ථවය පිළිබඳව ඇති මිථ්‍යා මතයන් පමණක්ම නොවේ. සනීපාරක්ෂක තුවා සඳහා විශාල මුදලක් වියදම් කිරීමට ඇති නොහැකියාව ද ඊට බලපායි. එකට එකක් මිළ ඉහළ යන පරිදි පැනැවී ඇති බදු අවම වුවහොත් ඔවුනට ද සනීපාරක්ෂක තුවා මිලට ගැනීමට හැකිවනු ඇත.

මහත්මයාණෙනි, සාමාන්‍ය කාන්තාවක් සිය ජීවිතයෙන් වසර 6ක පමණම කාලයක් ගත කරන්නේ ආර්ථව සමයේ යි. ඇය මෙයින් වසර කීපයක් පාසැලේ දී ත්, ඉතිරි වසර කීපය වෘත්තිකයෙකු, ගෘහණියක, හෝ මවක ලෙසත් ගත කරයි. දරුවන් ද ගැබිණි මාතාව ද සම්පතක් බව විශ්වාස කරන රටක් වෙමු අපි. ඒ, රටේ මානව සම්පත වර්ධනය කෙරෙන්නේ ඔවුන් නිසාවෙනි. ගැබිණි මව සම්පතක් බව සලකන රටකට, කාන්තාවකගේ ආර්ථවය සුඛෝපභෝගී සංසිද්ධියක් බව සලකා ආදායම් ඉපයිය හැකි ද? සිය ජනතාව ගැන සලකන රජයකට සිය ජනතාවගෙන් 50%කගේ ඔසප්වීමෙන් පවා ආදායම් ඉපයීමට හැකි ද?

අමාත්‍යතුමනි, සනීපාරක්ෂක තුවා හා ටැම්පොන් යනු සුඛෝපභෝගී භාණ්ඩ නොවේ. මේවා කාන්තාවන්ට අත්‍යාවශ්‍ය දේ ය. මේවාට බදු සහනයක් ලබාදීම රටේම කාන්තාවන්ට දක්වන අනුග්‍රහයෙකි.

මංගල සමරවීර ගරු මුදල් ඇමතිතුමනි, මේ ඔබේ අවධානය සහ ප්‍රතිචාරය පිණිස ය.


infosrilankanews.info ඇසුරින්

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × 4 =

සබැඳි ලිපි

Back to top button
Close