දැනුම

කෙල්ල ප්‍රෙග්නට්ද කියලා හරියටම බලන හැටි

පුරුෂයෙකු සමඟ ලිංගික එක්වීමකින් පස්සේ ගැහැණියක් මුලින්ම තමුන්ට බබෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැනගන්නේ, මුලින්ම තමුන්ට බබෙක් ලැබෙන්නදෝ කියලා සැකයක් මතු කරගන්නේ තමුන්ගේ ඔසප් චක්‍රය නියමිත දිනයට උනේ නැත්නම් තමයි. ඒ කිව්වේ ප්‍රමාද නම්. තවත් සරලව කියනවා නම්, කාන්තාවකගේ ඔසප් චක්‍රය සාමාන්‍යයෙන් දවස් 28 කට සැරයක් නේ එන්නේ. සමහරුන්ගේ ඕක දවස් 21 සිට 35 දක්වා කාල පරිච්චේදය තුල ක්‍රමවත්ව නිසි පරතරයකින් සිදුවෙනවා. ඒ කිව්වේ කලින් මාසේ ඔසප් වෙලා හරියටම දවස් 28 කින් තමයි ගොඩකගේ ආයේ ඔසප් වීම සිදුවන්නේ. අන්න ඒ නියමිත දිනයට නොවුනොත් තමයි බබෙක් ලැබෙන්නද මංදා කියන එක හිතෙන්නේ. එහෙම හිතුනට පස්සේ ගර්භණීභාවය අඳුනගන්න කරන්න පුලුවන් පරීක්ෂණ 3 ක් තියෙනවා.

1. මුත්‍රා සාම්පල පරීක්ෂාව

මුත්‍රා සාම්පලයක් අරගෙන මොනාද බලන්නේ?

මෙහෙමයි කාන්තාවක් ගැබ් අරගෙන කළලයක් වර්ධනය වෙන්න ගත්තාම ගර්භාෂ බිත්තිය මත කළල බන්ධය (Placenta) කියලා එකක් හදාගන්නවා. ඒකෙන් කරන්නේ ළමයයි අම්මයි අතරේ සම්බන්ධයක් ඇති කරලා ළමයාට පෝෂණය ලබාදීමයි කියලා ලාවට තේරුම් ගන්නකෝ. අන්න ඒ කළල බන්ධය මඟින් hCG – Human chorionic gonadotropin කියලා හෝර්මෝනයක් ස්‍රාවය කරනවා සති 16ක් විතර යනකන්. අන්න ඒ හෝමෝනය මුත්‍රා වල දියවෙලා බහිස්‍රාවී වෙනවද කියලා බලන එක තමයි මේ පරීක්ෂණයෙන් කරන්නේ. මේ පරීක්ෂණය කරන්න ඉතාම පහසුයි ඒ වගේම ගෙදර ඉඳන් උනත් තමුන්ටම බලාගන්න පුලුවන්. කරන්න තියෙන්නේ ගර්භණීභාවය පරීක්ෂා කරන පටියක් (Pregnancy Test Strip) ෆාමසියකින් මිලට ගරගෙන මුත්‍රා සාම්පලයක ගිල්වලා විනාඩි 3 – 5 ක් අතර කාලයක් තියෙන්න හැරලා පරීක්ෂාකරන එක විතරයි.

මේ පටියේ රතු පාට ඉරි දෙකක් තියනවා හරහට නමුත් ඇසට පේන්නේ නෑ. මුත්‍රා සාම්පලයේ ගිල්වලා තියලා අරගෙන බැලුවම තමයි මේ රතුපාට පටි පේන්න ගන්නේ. පටි දෙකම පැහැදිලිව පේනවා නම් හරි තමුන් අම්මා කෙනෙක් වෙන්න යන්නේ කියලා දැනගන්න පුලුවන්. නමුත් එක පටියක් විතරනම් මතුවෙලා පේන්නේ ප්‍රශ්නයක් නෑ. කෙනෙක් ඇහුවොතින් ඇයි එක පටියක් පේන්නේ කියලා ශරීරයේ සාමානයය hCG හෝමෝන අගයක් තියෙනවා. අන්න ඒකයි හේතුව. පරීක්ෂණය Positive නම් මෙන්න මෙහෙමයි පේන්නේ රතු පාට පටි දෙක.

මේ පරීක්ෂණය ගෙදර කරන්න බලාපොරොත්තු වෙන අයට දැනගන්න ඕනේ කරුණු වගයක් තියෙනවා. ඒ මේකට ප්‍රමාණවත් පරිදි මුත්‍රා ස්වල්පයක් තිබ්බාම හොඳටම ඇති. මොකද මම දැකලා තියනවා මිනිස්සු චූ බවුසර් උස්සගෙන ඉස්පිරිතාලෙට දුවගෙන එනවා. මුත්‍රා පටිය ගිල්වන්න පොඩි කුප්පියකට මුත්‍රා එකතු කරගත්තාම හොඳටම ප්‍රමාණවත්. මේ සඳහා ගන්න මුත්‍රා සාම්පලය උදේම නැගිට්ට ගමන් මුත්‍රා කරන්න කලියෙන් ගන්න සාම්පලයක් නම් වඩාත් පරීක්ෂණය සාර්ථකයි. මොකද රාත්‍රී කාලයේ පැය 6-8 ක් පමණ මුත්‍රා සාන්ද්‍රණය වෙලා පවතින නිසා hCG මට්ටමත් සාන්ද්‍රණය වෙලා තියෙන නිසා පරීක්ෂණයෙන් සිදුවෙන දෝෂය නම් ගොඩක් අඩුයි.

 

මෙන්න දැනගන්න ඕන වැදගත්ම දේ….

අපි බබෙක් හම්බවෙන්න ඉන්න අම්ම කෙනෙක්ගේ ගර්භණී අවදිය ගණනය කරන්න, නැත්නම් පරීක්ෂන හැම ඉටිගෙඩියකටම කාලය හදන්නේ අම්මා අන්තිමට ඔසප් වෙච්ච දවස අල්ලලා. ඒ දවසේ ඉඳන් දවස් 14 කින් තමයි ඩිම්බ නිකුත්වීම්ක් වෙන්නේ ඩිම්බ කෝෂ වලින්. (ඒ දවස් 28 ක චක්‍රයක් තියෙන ගෑණු කෙනෙකුගේ.) ඔය දවස් 14 වටේ දෙපැත්තේ දවස් 4 ගානේ ඒ කිව්වේ 10 වෙනි දවසේ ඉඳන් 18 වෙනි දවස දක්වා කාලේ තමයි ගැබ් ගැනීමේ අවධානම වැඩි.

ඔය කිව්ව මුත්‍රා පරීක්ෂණය Possitive වෙන්නේ අම්මගේ අන්තිමට ඔසප් වෙච්ච දවසේ ඉඳන් සති 6 ක් ගියාට පස්සෙයි.

මොකක් සති 6.. ක්?

ඔව් සති 6ක්.

ලංකාවේ තියෙන මුත්‍රා පටි සංවේදී බවින් අඩුයි නමුත් විදෙශ් රට වල නම් ඕක සති 4න් හොයා ගන්න පුලුවන්. පටලවා ගන්න එපා අන්තිම ඔසප් දවසේ ඉඳන් සති 6 කින්. ඕක ගැබ් අරගෙන නම් දළ වශයෙන් සති 4 කින්.

2. රුධිර සාම්පල පරීක්ෂාව

මේක තමයි දෙවනි ක්‍රමය. ඒ වගේම ඉක්මනින් ප්‍රතිපල දැනගන්න පුලුවන් ක්‍රමය. මේකෙදි කරන්නේ රුධිර සාම්පලයක් අරගෙන ඒ රුධිර සාම්පලයේ තියෙන Serum Beta hCG මට්ටම හොයන එක. අපි මුත්‍රා වල බලපු එකම තමයි හොයන්නේ රුධිරයේ තියෙද කියලා. මේ ක්‍රමයේ වාසිය ගත්තාම මේක කාන්තාවක් ගැබ් අරගෙන පැය 48 ක් යද්දි රුධිරයේ Positive වෙනවා. ඒ වගේම පසුවෙන සෑම පැය 48 කට සැරයක්ම තිබෙන ප්‍රමාණය මෙන් දෙගුණයක් බවට පත්වෙනවා සති 12ක් තිස්සේ උපරිමයට එනකම්ම. ඒ නිසා පැය 48 කට පස්සේ පරීක්ෂා කලත් ගැබ් අරගෙනද කියලා හොයාගන්න පුලුවන්. නමුත් මේක පරීක්ෂාකරලා බලලා පරීක්ෂණය Positive නම් මේ වෙද්දි කළලය තැන්පත් වෙලත් ඉවරයි කියන එක හොඳට මතක තියාගන්න. මොකද මේක Positive වෙලා කියලා දැනගත්තු ගමන් අපේ කො‍ටු පනින අයියලා Postinor2 / Postinor දුන්නයි කියලා, මේ වෙද්දි Postinor2 / Postinor වලට කරන්න පුලුවන් දෙයක් නැහැ.

3. අති ධ්වනි තරංග පරිලෝකන ප්‍රතිබිම්භ පරීක්ෂණය – Ultrasound Scan

මේකෙදි කරන්නේ අති ධ්වනි තරංග මාලාවක් යවනවා ගර්භාෂය ඇතුලට. ඒ මඟින් හොයාගන්න පුලුවන් ගැබ් අරගෙනද කියලා. මේක කරන්න පුලුවන් ක්‍රම දෙකක් තියෙනවා.

A – යෝනි මාර්ගයට ඇතුල් කරන ලද සම්ප්‍රේෂක උපකරණයක් (Transducer Probe) මඟින්

මේකෙදි කරන්නේ දිග සම්ප්‍රේෂක උපකරණය අරගෙන ඒකට කොන්ඩම් එකක් දාලා ඒ කැමරාව යෝනි මාර්ගයෙන් ඇතුලට යවනවා. මෙන්න මේ උපකරණය මඟින් බලන්න පුලුවන් ගැබ් අරගෙනද නැද්ද කියලා. නමුත් ඒ කාන්තාවගේ අන්තිමට ඔසප් වූ දිනයේ ඉඳන් සති 5 කට පස්සේ තමයි ගැබ් අරගෙනද නැද්ද කියලා හරියටම කියන්න පුලුවන්. ඊට කලින් කියන්න බැහැ. අනික මේ ක්‍රමය තමයි අති ධ්වනි තරංග පරිලෝකන ප්‍රතිබිම්භ පරීක්ෂණය ක්‍රමයේ සාර්ථකම ක්‍රමය.


B – උදරය මත සම්ප්‍රේෂක උපකරණය තැබීම මඟින්

මෙතනදි කරන්නේ සම්ප්‍රේෂක ජෙල් වර්ගයක් ආලේප කරලා Probe එක බඩ උඩ තියලා ගර්භාෂය පරීක්ෂා කරලා බලනවා. නමුත් මේ පරීක්ෂණය මඟින් කාන්තාවක් ගැබ් අරගෙනද කියලා හරියටම දැනගන්න පුලුවන් අන්තිමට ඔසප් වෙච්ච දිනයේ ඉඳන් සති 6 කට පස්සේ. ඒ කිව්වේ උඩ A ක්‍රමයටත් වඩා සතියක් ගියාම තමයි.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 − 5 =

සබැඳි ලිපි

Back to top button
Close