දැනුම

අලුකෙසෙල් කෑවොත් පුරුෂ ශක්තිය හීනවෙනවා කියන්නේ ඇත්තද? ඇත්තම කතාව මෙන්න….

අලුකෙසෙල් ආහාරයට ගැනීමෙන් පුරුෂ ශක්තිය හීන වන බවට අපගේ ජන සමාජය තුළ පවතින මෙම විශ්වාසය කොතරම් ප්‍රබලද යත් අපගේ ඇතැම් ප්‍රදේශවල භික්ෂූන් වහන්සේ සඳහා පිරිනමන දාන මාන වලදී විශේෂ අලුකෙසෙල් ව්‍යංජනයක් සකස් කරන බවට තොරතුරු තිබේ.

එමගින් අපගේ පැරණි බෞද්ධ සමාජය භික්ෂූන් වහන්සේලා තුළ ඇති ‘කෙලෙස් ප්‍රහීන කරවීම’ පිණිස පවා මෙම අලුකෙසෙල් ව්‍යංජනය යොදා ගැනීමට දැරූ උත්සාහය අපූරුය.

අප ගන්නා ඇතැම් ආහාර වල ඇති රසායනික සංඝටක වල යම් ඖෂධීය ගුණයක් ඇති බව සත්‍යයකි. එහෙත් ආහාරය මෙන්ම ඇතැම් ඖෂධ මුඛ මාර්ගයෙන් ගනු ලැබුවද ඖෂධයකින් ලැබෙන තීරණාත්මක හා ප්‍රබල බලපෑම ආහාරයකින් සිරුරට ඇති නොවේ.

නිදසුනක් ලෙස පිළිකා රෝගය මැඩලීමට උපකාරීවන Nitrilosides (B17) විටමීනය මඤ්ඤොක්කා තුළ තිබෙන බව විද්‍යාත්මකව තහවුරු වී තිබේ. එහෙත් පිළිකා සඳහා වන ඖෂධයක් වශයෙන් ම‍ඤ්ඤොක්කා ආහාරයට ගන්නේ නම් එක් වේලක් සඳහා ගත යුතු මඤ්ඤොක්කා ප්‍රමාණය ඇතැම් විට කිලෝ සිය ගණනක් විය යුතුය. නමුත් ඖෂධය යනු එම සංඝටකයන් සුදුසු මාත්‍රාවකට සකස් කිරීමෙන් කෘත්‍රිමව නිශ්පාදනය කරන්නකි. ඖෂධය තුළ ආහාරයට වඩා ප්‍රබල ක්‍රියාකාරී ශක්තියක් ඇත්තේ එබැවිනි.

කෙසේ හෝ මෙම අලුකෙසෙල් සහ පුරුෂ ලිංගික බෙලහීනත්වය පිළිබඳ කිනම් හෝ විද්‍යාත්මක පසුබිමක් තිබේ ද?.

අලුකෙසෙල් ඉංග්‍රීසියෙන් හැඳින්වෙනුයේ Ash plantain යනුවෙනි. මෙය ඇතැම් රටවල Raw Banana යනුවෙන්ද හැදින්වෙයි. නමුත් අලුකෙසෙල් හැඳින්වීම සඳහා වෙනම උද්භිදවිද්‍යාත්මක නාමයක් නැත. ඒ සඳහා ඇත්තේ සාමාන්‍ය කෙසෙල් හඳුන්වන Musa acuminata යන නම පමණි. අලුකෙසෙල් යනු එහිම උප විශේෂයකි.

නමුදු ලෝකයේ මෙතෙක් කරනු ලැබූ කිසිදු විද්‍යාත්මක පර්යේෂණයකින් අලුකෙසෙල් ආහාරයට ගැනීමෙන් පුරුෂ ශක්තිය හීන වන බව සනාථ වී නොමැත. එමෙන්ම ආහාරයක් මගින් එවැන්නක් සිදු කළ හැකිය යන්න සිතීමද විද්‍යාත්මක නොවේ. පුරුෂ ශක්තිය වඩවන බව පැවසෙන වැල්පෙනෙල, දූරියන් ආදීය පිළිබඳව කිව හැක්කේද එය මය. ඒ අනුව මෙය සමාජය පුරා පැතිර ගත් මිථ්‍යා මතයක් බව පැවසිය යුතුය.

‘කඟවේනා’ යනු ජව බලය සංකේතනය කරන තනි අඟකින් යුත් කල්පිත සත්වයෙකි. කඟවේනාට සමාන සත්ව ලෝකයේ වෙසෙන සාමාජිකයා වනුයේ තනි අඟකින් යුත් ‘රයිනෝසිරස්’ ය. මෙම සත්වයාගේ අඟ ශක්තිමත් පුරුෂ ලිංගේන්ද්‍රියට සංකේතනය කිරීම මත රයිනෝසිරස් අඟ කුඩු කර තැනූ ආලේප ගෑමෙන් පුරුෂ ශක්තිය වැඩිවන බවට ලොව පුරා මිථ්‍යා මතයක් පැතිර ගොස් තිබේ. මෙය කොතරම් ප්‍රබල ලෙස පැතිර ගොස් තිබේද යත් එමගින් ස්වභාදම් මවගේ කදිම තිළිණයක් වන රයිනෝසිරස් සත්වයන් මිහිතලයෙන් වඳවී‍යාමේ අවදානමක් ද පැනනැගී තිබේ. ඒ අනුව ලොව ඇතැම් රටවල රයිනෝසිරස් පැටවුන්ගේ අඟ කපා දැමීමෙන් උන්ගේ මතු පැවැත්ම තහවුරු කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙයි.

මෙම අලුකෙසෙල් පිළිබඳ මිථ්‍යාවද එවැන්නකි. දිනපතා අලුකෙසෙල් කොපමණ ප්‍රමාණයක් ආහාර ගත්තද එය පුරුෂ ශක්තිය හීන කිරීමට අංශු මාත්‍රිකව හෝ බල නොපාන බව ඒකාන්ත වශයෙන්ම කිවයුතුව තිබේ.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × 4 =

සබැඳි ලිපි

Back to top button