දැනුම

සතුන් සමග ලිංගිකව හැසිරෙන පිරිමි සහ ගැහැණු

වෙල් නියර දිගේ පැමිණි සීලනාථ සහ නිමල්සිරි “පින්නදූව ලන්ද”ට ඇතුළු වූහ. තවමත් සවස හතරේ හෝරාව ඉක්ම වී ගොස් නැතත්, හාත්පස පරිසරය තරමක් අඳුරු ආලෝකය අඩු බවකින් යුක්ත විය. අක්කර විස්සක පමණ වපසරියකින් යුත් පාලු ඉඩමක් වූ පින්නදූවලන්ද කොස්, යකඩමරන්, අඹ, පලු වැනි උස් ගස් රාශියකින්ද, ඒ උස් ගස් බොහොමයක් වටා වෙලී ගිය මරු වැල්, පෝට වැල් ආදී වැල්වලින්ද, ගඳපාන, ආඩතෝඩ, පින්න වැනි මධ්‍යම ප්‍රමාණයේ පඳුරුවලින් සහ තණකොළ, කුප්පමේනියා ආදී වල් පැලෑටිවලින් වැසුනු යටි රෝපණයකින්ද යුත් කුඩා වන රොදක් විය. වියන ස්ථරය නිසා දහවල් කාලයේ පවා හොඳින් හිරු එළිය පොළොවට නොවැටෙන හෙයින් පින්නදූවලන්ද දහවල් කාලයේද කිසියම් අඳුරු බවකින් යුක්ත විය.

හරකුන් ඇති කරනු ලබන ගම් වැසියන් කිහිප දෙනෙකුම තම ගවයන් තණ කැවීමට දිගේලි කරන ලද්දේ පින්නදූවලන්දේය. සීලනාථද තම කිරි එළදෙන එදින උදේ වරුවේ දිගේලි කරන ලද්දේ පින්නදූව ලන්දෙහිය. සීලනාථ තම ගජ මිතුරා වූ නිමල්සිරි සමඟ ඒ සවස් යාමයේ පින්නදූවලන්දට පැමිණියේ තම එළදෙන නැවත නිවසට දක්කා ගෙන යාමටයි.

තැනින් තැන ගන සැරේට වැඩුනු පින්න පඳුරු පිපුනු මල් වලින් යුක්ත විය. පින්න මල් පොකුරකින් රොන් ගන්නට පැමිණි වෛවර්ණ සමනලයෙකු පින්න මල් පොකුරක් වටා භ්‍රමණය වේ. වෙල් එළිය සිසාරා හමන මඳ පවන පින්නදූවලන්ද හරහාද හමා යන්නේ සිහිලසින් සහ නැවුම්බවින් ගත සිත නව ජීවනයකින් පුරවාලන්නට මෙනි. සීලනාථට සහ නිමල්සිරිට මෙම සන්ධ්‍යා පරිසරයේ නැවුම්බව හෝ චමත්කාරය ගැන කිසිඳු අවධානයක් ඇති බවක් නොපෙනේ. තවමත් නාගරීකරණයෙන් දුෂිත නොවූ ගම්බඳ පරිසරයක ජීවත් වන ඔවුන්ට පින්නදූවලන්ද තුළ එතරම් විශේෂත්වයක් නොවීම ස්වාභාවිකය.

සීලනාථ ගේ එළදෙන ගැට ගසා තිබුණු යකඩමරං ගසට යාර දහයක් පමණ දුරකදී නිමල්සිරි විසින් සීලනාථ ගේ උරහිසට සෙමින් තට්ටු කළේ දකුණතේ දබරුගිල්ල ඔහුගේ දෙතොල් වලට තද කරමින් නිශ්ශබ්ද වන ලෙසද සංඥා කරමිනි.

“හිමින් සීරුවේ මේ කාමරංගා පදුර ළඟින් ඉඳගනින්.“ නිමල්සිරි පහත් හඬින් මිමිනුවේය.

උදෑසන යකඩමරං ගහේ ගැට ගසා කඹයේ දිගට දිගේලි කළ සීලනාථ ගේ එළදෙනගේ කඹය අගිස්සටම කොට එළදෙන ගසටම හේත්තු වන ලෙස ගැට ගසා ඇති අතර, ගමේ ගස් වල කුලියට පොල් කැඩීම ප්‍රධාන ජීවනෝපාය කොටගත් හතළිස් පස් හැවිරිදි පමණ වූ තෙලේනිස් තම පිටුපස ප්‍රදේශය සම්පූර්ණයෙන්ම නිරුවත් වන සේ ඇද සිටි සරම් මාල්ල ඉඟටිය වටා ගැට ගසා ගෙන එළදෙන ගේ පිටුපස ප්‍රදේශය ස්පර්ශ වන ලෙස කිසියම් රිද්මයානුකූල චලනයක යෙදෙමින් සිටියේය.

“මොකක්ද බං අර යකා අර නටන නාඩගම?” සීලනාථ නිමල්සිරිගෙන් ඇසුවේ තරමක කේන්තියෙනි.

“මම මීට ඉස්සරත් නාගහපිල්ලෑවේදී ඔය යකා එළදෙනක් එක්ක ඔහොම ඉන්නවා දැකලා තියෙනවා බං.”

“මුං වගේ තිරිසන්නුන්ව තියන්න හොඳ නැහැ.” කියමින් එකවරම එළදෙන බැඳ සිටි ස්ථානයට දිව ගිය සීලනාථ දුවන්නට තැත් කළ තෙලේනිස් වෙත වේගවත් පා පහරක් එල්ල කළේය.

“පොඞ්ඩක් මේ අහපං සීලනාථ මල්ලි” යැයි මොන මොනවාදෝ කීමට තෙලේනිස් උත්සාහ කළත් සීලනාථ සහ නිමල්සිරි දෙදෙනාම එක්වී තෙලේනිස්ට හොඳටම තඩි බෑවෝය. පහර කමින් තෙලේනිස් දිව ගියේ අමු තිත්ත කතාවලින් බැන වදිමිනි.

“ඔය වගේ සත්තු එක්ක ඉන්න මිනිස්සු විතරක් නෙවෙයි ගැහැණුත් ඉන්නවලු බං” නිමල්සිරි විසින් සීලනාථ සමඟ මෙසේ විස්තර කරන අතරතුර සීලනාථ එළදෙන ගසට බැඳ තිබු ස්ථානයෙන් කඹ පට ලිහන්නට විය.

ඉහත දක්වා ඇත්තේ කෙටි කතාවක හෝ නව කතාවක කොටසක් නොවේ. මෙම ශ්‍රී ලංකාවේම එක්තරා ගම්බඳ පළාතක වෙසෙන මගේ මිත්‍රයෙකුට තම අසල්වැසියෙකු විසින් එළිදරව් කරන ලද එම ප්‍රදේශයේම වූ සත්‍ය සිදුවීමකි. ඔහු මා සමඟ විස්තර කළ එකී සිදුවීම මගේ සිත තුළ ප්‍රතිනිර්මාණය වුයේ ඉහත සඳහන් ලෙසයි.

සතුන් සමඟ මේ අයුරින් ලිංගික සබඳතාවල යෙදෙන මිනිසුන් විවිධ ජන සමාජවල වෙසෙන බව බොහෝ දෙනා නොදනිතත් සත්‍ය තත්වය එයයි. මෙකී තත්වය මානසික රෝගයක් ලෙස වර්තමානයේ නොසැලකුවත්, එය අසාමාන්‍ය මනෝ ලිංගික අවවර්තනයක් (Abnormal Psycho Sexual Disorder) හෙවත් පැරපීලියානු (Paraphelia) තත්වයකි. මෙම මනෝ ලිංගික අවවර්තනය හඳුන්වනු ලබන්නේ Zoolagnia/Zoophillia/ Zooerstia හෝ Bestiality වශයෙනි. සිංහල භාෂාවෙන් මෙම තත්වය ‘සත්ව කාමුකත්වය’ හෙවත් “පශු මෛථූන්‍යය” ලෙස හැඳින්විය හැකි අතර, මෙය ශ්‍රී ලංකාවේ නීතියෙන් තහනම් කොට ඇති අපරාධ වරදකි.

ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 365 වන වගන්තිය මගින් තිරිසන් සතුන් සමඟ කාමුක සංසර්ගයේ යෙදීම දඬුවම් ලැබිය හැකි අපරාධ වරදක් ලෙස පහත සඳහන් පරිදි දක්වා ඇත.

යම් පුරුෂයෙකු, ස්ත්‍රීයක හෝ සතෙකු සමඟ ස්වභාව ධර්මයට විරුද්ධව, කැමැත්තෙන්ම කාමුක සංසර්ගයෙහි යෙදෙන තැනැත්තෙකුට අවුරුදු 10 දක්වා කාලයක දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාර ගත කිරීමකින් දඬුවම් කළ යුතුය. ඔහු දඩයකටද යටත් විය යුතුය.

එමෙන්ම මෙම වගන්තියේ පැහැදිලි කිරීම තුළ ඉහත වරදට අවශ්‍ය වූ කාමුක සංසර්ගය ඇති කිරීමට ප්‍රවේශ කිරීමක් ප්‍රමාණවත් වන බවද දක්වා ඇත. දණ්ඩ නීති සංග්‍රහය තුළ “අස්වාභාවික වැරදි” යටතේ මෙම සත්ව කාමුකත්වය හෙවත් සුලැග්නියානු තත්වය දක්වා ඇත්තේය.

දැනට වසර කිහිපයකට පෙර කුරුණෑගල මහාධිකරණයේ විභාග වූ එළදෙනකට ලිංගික අතවරයක් සිදු කිරීම පිළිබඳ නඩුවක් ඔබගෙන් ඇතැම් දෙනෙකුට මතක ඇතැයි සිතමු. එකී නඩුවේ විත්තිකරු විසින් එළදෙනක සමඟ ලිංගික සබඳතා පවත්වා තිබූ අතර එළදෙනගේ හිමිකාර කාන්තාව සහ තවත් සාක්ෂිකරුවෙකු විසින් මෙම සිදුවීම දුටු බවට සාක්ෂි ඉදිරිපත් කරන ලදී. අධිකරණය මගින් නඩුව විභාග කිරීමෙන් අනතුරුව විත්තිකරු වරදකරු කොට සිර දඬුවම් පමුණුවන ලදී.

මේ අයුරින් තිරිසන් සතුන් සමඟ ලිංගික සබඳතා පවත්වන මිනිසුන් පිළිබඳව විවිධ තොරතුරු කලින් කල අසන්නට ලැබුණත්, ඉහත සිදුවීමේදී මෙන් ඒවා අධිකරණය හමුවට පැමිණෙන්නේ ඉතා කලාතුරකිනි. මෙවැනි අසම්මත චර්යාවන්වල යෙදෙන පුද්ගලයන් එකී ක්‍රියාකාරකම් ඉතා හොර රහසින් සිදු කිරීමත්, ඒවා එළිදරව් වුවද මෙවැනි ජුගුප්සාජනක සිදුවීම්වලට අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබා දීමට ඇති අකමැත්තත්, ලැජ්ජාවත් නිසාවෙන් මෙවැනි සිදුවීම් පිළිබඳ පැමිණිලි අධිකරණය වෙත ඉදිරිපත් වීම අවම මට්ටමක පවතී.

මෙම සත්ව කාමුකත්වයට ස්ත්‍රි පුරුෂ භේදයක් නැත. සත්ව කාමුකත්වයෙන් පෙළෙන පිරිමින් විසින් බොහෝවිට ගවයන්, එළුවන් වැනි සතුන් මේ සඳහා යොදා ගන්නා අතර, සත්ව කාමුක ස්ත්‍රීන් විසින් සුනඛයින් සහ පිඔුරන් වැනි උරගයින් මේ සඳහා වැඩි වශයෙන් යොදා ගනු ලැබේ.

මෙවැනි සත්වකාමී චර්යාවන් ඇති මිනිසුන් භූගෝලීය බාධාවලින් තොරව මුළු මහත් ලෝකය පුරාම විවිධ ජන සමාජ වල සිටින බව වාර්තා වී ඇත.

සිසිලිය සහ දකුණු ඉතාලිය වැනි රටවලද එඬේරුන් සහ එළුවන් අතර පවතින සංවාසය කෙතරම් ප්‍රචලිතද යත් එය එම ප්‍රදේශවල ගෝත්‍රික චාරිත්‍රයක් වශයෙන් ද ක්‍රියාත්මක වන බව සුගතමුණි ඤාණසිරි මහතා විසින් රචිත “අරුම පුදුම මනෝ ලිංගික සබඳතා” නම් ග්‍රන්ථයේ සඳහන් කර ඇත. ඉතාලි ජාතික ලේඛකයෙකු වූ ඉග්නාට්සියෝ සිලෝන් විසින් රචිත “ෆොන්ටමාරා“ නැමැති නවකතාව තුළ එළුවන් සහ මිනිසුන් අතර ලිංගික සබඳතා පිළිබඳව දක්වා ඇත. ඉතාලි සාහිත්‍යය තුළටද මෙම සත්ව කාමුක මිනිස් හැසිරීම් ඇතුළු වී තිබීම තුළ ඉතාලි ජන සමාජය තුළද රහසිගතව මෙවැනි ක්‍රියා සිදුකරන්නවුන් සිටින බවට සාක්ෂියකි. මක්නිසාදයත් නිර්මාණකරුවන් තම සාහිත්‍ය කලා නිර්මාණ සඳහා අනුභූතීන් සහ වස්තු බීජ උකහා ගනු ලබන්නේ තමන් ජීවත් වන සමාජ පරිසරය තුළින් වීමයි.

මීට ශත වර්ෂ ගණනාවකට පෙර ගිනිකඳු පිපිරීමකින් මුළුමනින්ම විනාශ වූ සිසිලියේ පොම්පේයි නගරයේ පුරා විද්‍යාත්මක කැණීම්වලදී අශ්වයන් සහ කන්‍යා ස්ත්‍රීන් අතර ලිංගික සබඳතා පැවතුන බවට සාධක හමු වී ඇති අතර එය එකල සිසිලි සමාජය තුළ පැවැති අභිචාර ක්‍රමයක් බව සඳහන් වේ.

සිය කැමැත්තෙන් වඳුරන් සහ රිලවුන් සමඟ ලිංගික සංවාසයෙහි යෙදුනු ගැහැණුන් පිළිබඳ පුවත් අප්‍රිකාවෙන් සහ දකුණු ඇමරිකාවෙන් ද වාර්තා වී ඇත. දකුණු ඇමරිකාවේ පවතින එක්තරා ජන විශ්වාසයකට අනුව මුලින්ම සිපිලිස් හෙවත් උපදංශ නැමැති සමාජ රෝගය ඇති වූයේ මිනිසුන් සහ දකුණු ආසියාවේ වෙසෙන ලාමා නම් වූ ඔටුවන්ට සමාන බර අදින සතුන් අතර පැවති ලිංගික සබඳතා වල ප්‍රතිඵලයක් වශයෙනි.

අප අසල්වැසි ඉන්දියාවේ සුප්‍රකට සහ ඉපැරණි කජ්රාවෝ ගල් කැටයම් අතර විවිධ වර්ගයේ තිරිසන් සතුන් සමඟ ගැහැණුන් සහ පිරිමින් විවිධ ලිංගික චර්යාවන්වල යෙදෙන ආකාරය දැක්වෙන ගල් කැටයම් ද රාශියක් දක්නට ලැබේ. මෙයින් පසක් වන්නේ පැරණි භාරතීය සංස්කෘතිය තුළද මිනිසුන්, සතුන් සමඟ ලිංගික සබඳතා පැවැත් වූ බවයි. එමගින් සත්ව මිනිස් මනෝ ලිංගික අක්‍රමතාව පැරණි භාරතයේද තිබු බවට සාක්ෂි සපයයි.

එසේම, බුදුන් දවස විසූ කොසොල් මහ රජුගේ අගමෙහෙසිය වූ මල්ලිකා දේවිය බල්ලෙකු සමඟ කාම සම්භෝගයේ යෙදුනු පුවතක් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ.

බුදුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා අරභයා සතුන් සමඟ ලිංගික සම්භෝගයේ යෙදීම පාරාජිකා අවැතක් බවට විනය ශික්ෂා පදයක් පනවා ඇත. මෙම ශික්ෂා පදයේ සරල අර්ථය වන්නේ තිරිසන් මාගමක් සමඟ හෝ මෛථුන සේවනයේ යෙදුනේ නම් එකී භික්ෂූව පාරාජිකා අවැතක් සිදු කර ගන්නා බවය. බෞද්ධ භික්ෂූන් අරභයා වූ විනය නීති අනුව පාරාජිකා අවැතක් යනු භික්ෂුවක් ගිහියෙකු ගේ තත්වයට පහළ හෙළෙන බරපතළ වරදකි. බුදුන් වහන්සේ විසින් භික්ෂූන් අරභයාද මෙවැනි විනය නීතියක් පනවන්නට ඇත්තේ එකල භාරතීය ජන සමාජය තුළද අප්‍රකටව මෙම සත්ව කාමුක චර්යාවන් ගෙන් යුතු මිනිසුන් වෙසෙන ලද හෙයින් බව ගම්‍ය වේ.

මහාවංශය වැනි වංශ කතාවලට අනුව ප්‍රථම සිංහල රජු වූ විජය ගේ පියා වූ සිංහබාහු ද සිංහයෙකුට දාව මිනිස් මවක වූ සුප්පා දේවිය විසින් බිහි කළ දරුවෙකි. මෙම කතාවේ සත්‍ය තත්වය කුමක් වුවත් තිරිසන් සතෙකු වූ සිංහයෙකු සහ මිනිස් කාන්තාවක් අතර ලිංගික සබඳතා තුළින් දරුවන් බිහි වීම වැනි සංකල්ප එකල සමාජය තුළ ජනිත වන්නට හේතු වන්නට ඇත්තේ එම ජන පරිසරයන්හිද සත්ව මිනිස් ලිංගික ක්‍රියාකාරකම් රහසිගතව හෝ පැවතීම නිසා නොවේ ද?

සත්ව කාමුකත්වය හෙවත් පශු මෛථුන්‍යය මනෝ ලිංගික අවවර්තනයක් හෙවත් පැරපීලියානු තත්වයක් බව බොහෝ මනෝ විද්‍යාඥයින්ගේ මතයයි. කෙසේ වෙතත් මෙම සත්වකාමී තත්වය ඇති වීමට හේතු වන සාධක සම්බන්ධයෙන් මනෝ විද්‍යාඥයින් විවිධ මත වල එල්බ ඇති බව පෙනේ. ඒ සම්බන්ධයෙන් වඩාත් ප්‍රකට මත කිහිපයක් පහත දැක්වේ. ඒවා නම්,

ආදි කල්පික මිනිසුන්, ගවයන්, එළුවන්, අශ්වයන් වැනි තමන් විසින් ඇති දැඩි කරනු ලැබූ තිරිසන් සතුන් සමඟ වනාන්තර ආශ්‍රිතව සමීපව දිවි ගෙවූ අතර, මිනිසුන්ගේ සහ තිරිසනුන්ගේ ජීවිත අතර වැඩි වෙනසක් නොවීය. මේ නිසා ආදි කල්පිත මිනිසුන්ගෙන් ඇතැමෙකු තිරිසන් සතුන් සමඟ ද ලිංගික කාර්යයන් සිදු කිරීමට නැඹුරු විය.

සාමාන්‍ය එඬේර ජනයාගෙන් ඇතැමෙකු ගවයන් වැනි සතුන් සමඟ ලිංගික සබඳතාවලට යොමු වූයේ ඔවුන්ගේ ජීවන පරිසරය අනුව ඔවුනට බොහෝ විට තම භාර්යාවන්ගෙන් ඈත්ව හුදෙකලා පරිසරයන්හි ජීවත් වීමට සිදුවීම නිසාවෙනි. ප්‍රවීන ලාංකේය සමාජ විද්‍යා පර්යේෂකයෙකු වන අභාවප්‍රාප්ත මහාචාර්ය නන්දසේන රත්නපාලයන් විසින් රචිත “මේ ජීවිතයේදීම පල දෙන කර්මය” නැමැති ග්‍රන්ථයේ ඔහුගේ පර්යේෂණයට ලක්වූ ගව ඝාතකයෙකු තමා විසින් මැරීමට ගෙන ආ එළදෙනුන් සමඟ ලිංගික සබඳතා පැවැත් වූ ආකාරය දක්වා ඇති අතර, ඒ තුළ හුදෙකලා වෘත්තීය පරිසරය නිසාවෙන් ද සමහර පුද්ගලයන් මෙවැනි අසාමාන්‍ය චර්යාවන්ට ගොදුරු විය හැකි බවට ඉඟි සපයයි.

ඇතැම් මිනිසුන් තුළ සතුන් සමඟ ලිංගික සංසර්ගයේ යෙදීම මගින් උපදංශ වැනි සමාජ රෝග සුව කර ගත හැකිය යන මිත්‍යා විශ්වාසයක් තිබීම.

පාර මනෝ විද්‍යාත්මක (Para Psychology) අදහස් අනුව පෙර භවයන්හි ජීවන පුරුදු නිසාද මෙවැනි තත්වයන් ඇති විය හැක.

ළදරු කාලයේදී යටි සිත තුළට අවරෝධනය වූ තිරිසන් සතුන් සම්බන්ධ යම් යම් ලිංගික අත්දැකීම් නිසාද පසු කාලීනව මෙවැනි පුරුදු ඇති විය හැක.

සත්ව කාමුක මානව චර්යා සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කළ ප්‍රකට ලිංගික මනෝ විiාඥයෙකු වූ හැව්ලොක් එලිස් විසින් තම “The Psychology of Sex” නැමැති ග්‍රන්ථයේ සත්ව කාමුක ලිංගික අක්‍රමතාවයෙන් පෙළෙන්නන් විවිධ ක්‍රම මගින් සතුන්ගෙන් ලිංගික තෘප්තිය ලබන බව සඳහන් කර ඇත. සමහරු සතුන් අතර සිදු වන ලිංගික ක්‍රියාකාරකම් නරඹා ඉමහත් ලිංගික තෘප්තියක් ලබන බවත්, සතුන්ගේ ලිංගික ක්‍රියා ඇතුළත් අසභ්‍ය චිත්‍රපට නැරඹීමෙන් ඇතැම්හු සතුටු වන බවත්, තවත් සමහරුන් සතුන් සමඟ සැබැවින්ම ලිංගික කාර්යන්හි යෙදීමෙන් ලිංගික තෘප්තිය ලබන බවත් ඔහු දක්වා ඇත.

එසේම, සත්ව කාමුකත්වය පිළිබඳ විශේෂ අධ්‍යයනයක් කොට ඇති ප්‍රකට බටහිර මනෝ විද්‍යාඥයෙකු වූ ක්‍රාෆ්ට් එබිං විසින් සතුන් සමඟ ලිංගික සබඳතාවලට නැඹුරු වූ ඇතැම් පුද්ගලයින් එකී සතුන් සම්බන්ධිත කාමී සිහින පවා දකින බවත්, තවත් සත්ව කාමුකයෝ තමන් සිත් ගත් සතුන් සිතින් මවා ගනිමින් ස්වයං වින්දනයේ පවා යෙදෙන බවත් පවසා ඇත.

අදත් අපගේ නීතිය තුළ මනුෂ්‍ය සත්ව ලිංගික සබඳතා අපරාධ වරදක් ලෙස සලකනු ලැබුවත් ආදි කල්පික යුගවලදී මනුෂ්‍ය සත්ව ලිංගික සබඳතා ඇතැම් සංස්කෘතීන් තුළ දුරාචාර ක්‍රියා ලෙස සලකා නැති අතර මනුෂ්‍ය සත්ව ලිංගික සබඳතා ස්වීඩනයේ ප්‍රාදේගීය නීති මගින් තහනම් කොට ඇත්තේ 13 වන සියවසේ අඟ භාගයේදී බවත්, එහෙත් එවැනි චර්යාවක් වැරැද්දක් බවට පත් වන්නේ අදාළ සත්වයා අයිතිකරුට වන්දි නොගෙවුවහොත් පමණක් බවත් දක්වා තිබුණි.

චර්යාවාදී ප්‍රතිකාර, ප්‍රජානන චර්යා ප්‍රතිකාර, බහු විධ මනෝ ප්‍රතිකාර, මෝහන ප්‍රතිකාර සහ උපදේශන ක්‍රම ශිල්පාදිය මගින් මෙවැනි සත්වකාමී ගති ලක්ෂණ ඇති පුද්ගලයින්ගේ මෙම අසාමාන්‍ය ලිංගික ප්‍රවනතා සෑහෙන දුරකට අවම කර ගත හැකි බව ද පැවසිය යුතුය.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

six + two =

සබැඳි ලිපි

Back to top button
Close