සමාජ

පත්තිනි සළඹින් ඇසෙන ආඩම්බරකාර ‘පො’යන්නේ හඬ

පත්තිනි දේවිය සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ ජනතාවට වඩාත් සමීපතම දේවතාවියයි. කාන්තාවන්ට සුබඵල ලබාදෙන දේවතාවිය ලෙස ප්‍රකට වූවද පුරුෂ පාර්ශ්වය පවා ඇයට දක්වන්නේ ඉමහත් භක්තියකි. මාතෘත්වයට අධිපති දේවතාවිය ඇයයි, එනිසාම ඇයට පුද පූජා පවත්වමින් ගැහැණු පිරිමි සියල්ලෝම දරුඵල පතති. වැස්ස වළාහක දෙවි කෙනෙකු සිටියද, කලට වැසි වස්සන්නට අයදින්නේද ඇයටයි.

ගින්නෙන්, සුළඟින්, අඹ ගෙඩියෙන්, නයි කඳුලින්, නුගපතින්, දෙමට මලින්, පිණි බිංදුවෙන් ආදී ලෙස විවිධ ආකාරයෙන් ඇය උපත ලැබූ බව ජනප්‍රවාදයේ සඳහන් වුවද ඒ සියල්ල මගින් ප්‍රතීයමාන වන්නේ ඇයගේ ශ්‍රේෂ්ඨත්වයයි. විශ්ව සාධාරණභාවයයි. අඳුන්ගිරි පර්වතය පයින් මඩකර වී වැපිරූ පත්තිනි මහළු බමුණෙකුගේ වේෂයෙන් ආ ඇය සක්දෙවියන්ගේ කුසගින්න නිවූ බවටද ජනප්‍රවාදයේ සඳහන් වේ.

අම්මාවරුන්ගේ දානය, ගිණිමඩු, ගම්මඩු ශාන්තිකර්ම, අංකෙළිය, ඔළිද කෙලිය වැනි ජනක්‍රීඩා යනාදිය පත්තිනි දේවිය වෙනුවෙන් සිංහල ජනසමාජය විසින් සිදුකරන කාර්යයන් වේ. නවගමුව පත්තිනි දේවාලය, කඩුවෙල රන්කඩු පත්තිනි දේවාලය, කොරතොට පත්තිනි දේවාලය වැනි දේවාල පෞරාණික මෙන්ම ප්‍රසිද්ධ පත්තිනි දේවාල වන අතර ප්‍රාදේශීය වශයෙන් විවිධ පත්තිනි දේවාලද පවතියි.

හින්දු ආගමික විශ්වාසවලට අනුව පත්තිනි යනු ශිව දෙවියන්ගේ භාර්යාව වන පාර්වතීගේ එක් අවතාරයකි. විශ්වය ආරක්ෂා කරන ජගන්මාතාව නැතහොත් පාර්වතිය, එසේත් නැතහොත් යුක්තිය අසාධාරණයට දුර්ගා ලෙසින්ද තවත් වරෙක කාලී ලෙසින්ද එන පාර්වතිය තම බලය පත්තිනියට ලබාදී ඇතුවාට සැකයක් නැත. මන්ද ඇය ඉන්දීය සංස්කෘතියේ ‘කන්නගී‘ වුවද, අයුක්තිය අසාධාරණය හමුවේ දුර්ගා වීමට දෙවරක් නොසිතන බැවිණි.

සිංහල බෞද්ධ සංස්කෘතියට, ක්‍රිස්තියානි කතෝලික සංස්කෘතියට හා ඉස්ලාම් සංස්කෘතියට සංක්‍රාන්ති සමාජභාවීය ප්‍රජාව (Transgender) ආගන්තුක වුවද හින්දු සංස්කෘතියට එසේ නොවේ. එයට හේතුව හින්දු සංස්කෘතිය තුළ සංක්‍රාන්ති සමාජභාවීය පුද්ගලයෙකු යනු “අර්ධනාරීශ්වර” නැතහොත් ශිව හා පාර්වතීගේ සංකලනයක් බව විශ්වාස කෙරෙන නිසාය.

සංක්‍රාන්ති සමාජභාවීය ගැහැණියක් හෝ පිරිමියෙක් තුළ උපතින් ජීව විද්‍යාත්මකව ලැබූ ලිංගිකත්වයත්, ඔවුන් තමාව තේරුම්කරගන්නා ආකාරය ඇතුළත් මනසත් යන දෙකම ඇතුළත්ව තිබේ. ඔවුන් වැරදි ශරීරයක උපන් අය යැයි මිනිසුන් විසින් විවිධ ආකාරයෙන් අපහාස කළද ලිංගිකත්වය හා මනස යන දෙක දෙමුහුන්ව පිහිටීම හරහා ඉතා ශක්තිමත් ආත්මයක් ඔවුන්ට ලැබෙන බව නම් පැහැදිලිය. පත්තිනි දේවිය හා සම්බන්ධ කතා පුවත් දක්වමින් හා හින්දු දේව විශ්වාස පිළිබඳව අදහස් දක්වමින් ඉහත අටුවා ටීකා සැපයූවේ පසුගිය සතියේදී සංක්‍රාන්ති සමාජභාවීය මිනිසුන් කොට්ඨාශයකට සිදුවූ අසාධාරණයක් ඔවුන්ගේ වචනවලින් ඇසීමට අවස්ථාවක් උදාවූ නිසාය.

ඒ, කොරතොට පත්තිනි දේවාලයේ වාර්ෂික ගම්මඩු මංගල්‍යයට අදාළ පෙරහැරයි. අලි ඇතුන්ගෙන් හා උඩරට, පහතරට නර්තන සම්ප්‍රදායයන්ගෙන් එන නර්තනයන්, තෙල්මේ, ලීකෙළි වැනි නර්තනයන්, බොරුකකුල් නැට්ටුවන්, කස පුපුරවන්නන්ගෙන් සුසැදි අලංකාරවත් පෙරහැරක් ලෙස විචිත්‍රවත් කිරීමට සංවිධාකයන් උපරිම උත්සාහ දරා තිබුණි. එම පෙරහැර නැරඹීමට අපටද අවස්ථාව ලැබුණු අතර පෙරහැරේ නැටුම් අංග, අලි ඇතුන්ගේ විස්තර ඇතුළත් පෙරහැර වර්ණනාවක්ද ප්‍රචාරක රථයකින් කල් වේලා ඇතුවම ප්‍රචාරය කර ගම්වාසීන් තුළ උද්යෝගය වැඩිකරමින් පැවතුණි. දිවා කාලයේ පැවති මෙම පෙරහැරේ අලංකාර අශ්ව නැටුම්, මොණර නැටුම් හා කොහොඹා කළයද නටන බවද සඳහන් කිරීමෙන් ප්‍රේක්ෂකයන් අමන්දානන්දනයට පත්කර තිබුණි.

පෙරහැර ක්‍රමක්‍රමයෙන් එහි අවසාන භාගයට ළංව තිබුණි. ගුත්තිලයේ සඳහන්වන ගුත්තිලගේ වෙණ නාදයට දිව්‍යාංගනාවන් මහපොළොවට බැස්සා සේ , සිහින් අතැඟිලි ලෙළවමින්, සිහින් ඉගටි නළවමින් පපරේ බෑන්ඩ් නාදයට ළලනාවන් හා පුරුෂයන් සමුදායකගේ මනස්කාන්ත නැටුම් දක්නට හැකිවිය. සාම්ප්‍රදායික නැට්ටුවන්ගේ වෙහෙසදෙන, රිදුම්දෙන දෙපාවලට ඔවුන් ලබාගත් විවේකය හා ප්‍රේක්ෂකයාට බලාගැනීමට නොහැකිවූ මාලක්කම්, බඹර වළලුවල සියලු දෝෂ නිවාහැර වේග රිද්මයෙන් හා ලාලිත්‍යයෙන් පිරිපුන් අශ්ව නැටුම්, මොණර නැටුම් හා කොහොඹා කළ නර්තනයන් ප්‍රේක්ෂකයන්ගේ අත්පොළොසන් හා විසිල් නාදයෙන් වර්ණවත් විය. සැබවින්ම එය නර්තනයේ, රිද්මයේ, චතුර් අභිනයන්ගේ සංකලනයක් වූ අතර සමස්ත පෙරහැර ප්‍රේක්ෂකයන් සමග යාකරන පාළමක් වැනි විය.

“මං කෙසේ පවසන් මෙසේ වර සුරළඳන් දුන් රඟ සොබා” යනුවෙන් පැවසිය හැකි තරමේ නර්තනයක් වුවද ගම්වාසීන්ගෙන් සමහරෙක් පැවසනු ඇසුණේ ඒතරම් වේගයෙන් හා අලංකාරවත්ව නටන්නේ ඔවුන් පො….. න් වන නිසාවෙන් බවයි. පෙරහැර පිළිබඳව පසු වර්ණනාවලදීද ‘පොයන්නේ අය‘ගේ නැටුම්වල ලස්සන හා විචිත්‍රවත් බව ගම්වාසීන්ගේ හිත්වල සටහන්ව තිබුණද එයට හේතුව වශයෙන් දැක්වූයේද ඔවුන් ‘පොයන්නන්‘ වීමයි. පෙරහැර අවසන්වීමට ඔන්න මෙන්න තියෙද්දී ඇද හැළුණු වර්ෂාව නිසා නැට්ටුවන් හා සංවිධායක මණ්ඩලය සීසී අත විසිර ගිය අතර ඇස් සිත් වශීකළ නර්තනයන් ඉදිරිපත් කළ දෙව්ලියන්ට සියලුම ගම්වැසි ගෙවල්වල දොරවල් වැසී තිබුණේ, ගෙවල්වල සිටින පිරිමි දූෂ්‍ය වෙතැයිද ඔවුන්ගේ පුරුෂ බඹසර බි‍දෙතැයි ගම්වැසියන් විශ්වාස කළ නිසා විය යුතුය. අවසානයේදී ඔවුන්ට සිදුවූයේ එක් ගෙදරක අගුපිළකට වී තමන්ට ලැබුණූ බත්පත බිම එළාගෙන වැහි හිරිකඩ වැදි වැදී ආහාර ගැනීමටයි. මහන්සිය නිසා ඉල්ලූ අයිස් වතුර ඔවුන්ට ලැබුණේ අපගේ මැදිහත්වීමෙනි.

ගමේ ගැහැණුන්ට ප්‍රශ්නයක් වූයේ මොවුන් පිරිමින්ද ගැහැණුන්ද යන්න නිවැරදිව සොයැගැනීමට නොහැකිවීමයි. ඔවුන්ට අනුව පෙරහැරේ චමත්කාරය සමග අශ්ප නැටුමේ කුලප්පුවෙන් මෙන් නැටූ එවුන්ගේ ගැහැණු පිරිමි බවද බලාගත හැකිව තිබුණානම් පෙරහැර ‘පට්ට‘ වීමට ඉඩ තිබුණි. නමුත් එලෙස වූයේ නැත. නර්තනයේ යෙදුන අයගෙන් බහුතරයක් සංක්‍රාන්ති සමාජභාවීය අයයි. ඔවුන්ට සිදුවූ අසාධාරණය හා අපහසුතාව පිළිබඳ අපගේ කණගාටුව ප්‍රකාශ කරත්දී ඔවුන් පැවසූයේ ඔවුන්ට මේවා පුරුදු බවයි. සමහර තැන්වලදී පෙරහැරේ බෙදන කෑම පාර්සලයවත් නොලැබෙන නිසා අඩුමතරමේ මෙතැන කෑම පාර්සලයවත් දුන්න නිසා මෙම පෙරහැර හොඳ පෙරහැරක්ය යන්න ඔවුන්ගේ අදහසයි. එහෙත් අපගේ ප්‍රශ්නය එය නොවේ. අපහාස කිරීමට අවශ්‍ය නම්, කොන්කිරීමට අවශ්‍ය නම්, වෙනස්කොට සැලකීමට අවශ්‍ය නම් පත්තිනි දෙවියන් වෙනුවෙන් සිදුකරන යාතුකර්ම පෙරහැරකට නපුංසකයන් හෝ පොයන්න යැයි කියන අය ගෙන්වා ගත්තේ ඇයිද යන්නයි. ඔවුන්ට එරෙහිව සිදුකළ අපහාසය හෝ ඔවුන් දෙස බැලූ නින්දිත ආකාරය හෝ නොසැලකූ ඔවුන් වර්ෂාව අවසානයේදීද පෙරටත් වඩා ජවයෙන් නැවත නට නටා යනවා දක්නට ලැබුණි. අපහාස විඳ දරාගැනීමට ඔවුන්ට ඇති ශක්තිය එයයි.

රන්කඩු පත්තිනි දේවාලයේ ගම්මඩු ශාන්තිකර්මය එදිනම උත්කර්ෂවත්ව පැවතුණි. ගම්මඩු නර්තනයන් අවසානයේදී පත්තිනි දේවාලයේ කපු මහතා විසින් දේවාල භූමියට පැමිණි අයට ආශිර්වාද කළ යුතුවිය. පත්තිනි දේවාලයේ සිට ගම්මඩු ශාන්ති කර්මය පැවති ස්ථානය දෙපස පිරිමි ගැහැණු බේදයකින් තොරව මිනිසුන් දෙපස පෙළගැසී සිටි අතර කපු මහතා විසින් ආශිර්වාද කරනු දක්නට ලැබුණි. නමුත් එම අවස්ථාවේදී කපු මහතා සිටියේ පුරුෂ වේශයෙන් නොවේ. අලංකාර සාරියකින් සැරසී, අලංකාර ආභරණවලින් සැරසී, අලංකාර කොන්ඩයක් උරහිස දෙපසින් දෙපැත්තට එල්ලා හැලෙමින් තිබුණි. කදිමට පුයර උලා, ආලේපන උලා, ඇහිබැම සකස්කර, තොල් ආලේප කර ද තිබුණි. ඔහු ගමන් කළේද කාන්තාවක් ගමන්කරනවා මෙන් සෙමිනි, ලාලිත්‍යයෙනි. එක් අතක සළඹක් ද තිබුණි. බැතිමතුන් ප්‍රකාශ කරන ආකාරයට, ශබ්ද විකාශන යන්ත්‍රයෙන් විකාශය කළ ආකාරයට ඒ පත්තිනියයි.

පත්තිනි දේවිය, මාතෘත්වයේ දෙවඟන, පතිවෘතතාවයේ දෙවඟන යනුවෙන් අබිසෙස් ලබන, වැඳුම් පිඳුම් කරන දෙවඟන ලෙස පෙනීසිටින හා නිරූපණය කරන කපුමහතායි. එහෙත් මිනිසුන් ඔහුට එරෙහිව හඬ නැඟුවේ හෝ හූ තැබූවේ හෝ නැත. මිනිසුන් කළේ සාදුකාර දීමයි.

දැන් අප විසින් අපගෙන්ම ඇසිය යුතු ප්‍රශ්නයක් තිබේ. එනම් තම ආත්මයෙන්ම සංක්‍රාන්ති සමාජභාවයට පත්වූ පුද්ගලයන්ට එරෙහිව අප හඬනගත්දී, හූ තබත්දී, වෙනස්කොට සලකද්දී හා නම්පට බැඳීම් සිදුකරත්දී, වෙනස් පුද්ගලයෙකු ලෙස නිරූපණය කරන කපුමහතාට අප වැඳුම් පිඳුම් කරන්නේ ඇයිද යන්නයි. පත්තිනි දේවාල පෙරහැර යනුද ශාන්තිකර්මයකි. එහි නර්තනයේ යෙදීමද ගෞරවයකි, ආශිර්වාදයකි. එහෙත් මුදල්වලට හෝ නර්තනයේ යෙදෙන සංක්‍රාන්ති සමාජභාවීය කාන්තාවන්ට හූ තබන සමාජය හූ තබන්නේ අයුක්තිය අසාධාරණය වෙනුවෙන් පෙනීසිටින පත්තිනි දෙවඟනටම බව සිහිතබාගත යුතුය. සුළු වේලාවකට හෝ විරුද්ධ ලිංගිකයෙකුගේ ඇඳුම් අදින කපු මහතා සිදුකළේද ශාන්තිකර්මයකි. එහෙත් ඔහුට සමාජයෙන් ගරුබුහුමන් ලැබේ. සංක්‍රාන්ති සමාජභාවීය තරුණියට විසිළු කර ඔවුන් එළවා දමන සමාජයම, ඔවුන් අගුපිල්වල තබන සමාජයම පත්තිනිය ලෙසින් සැරසුන කපුමහතාගෙන් ආශිර්වාද ලබාගනියි. එයට හේතුව කපුමහතා සාමාන්‍ය යැයි පිළිගන්නා විෂම ලිංගිකයෙකු බව සමාජය දන්නා නිසා සහ සංක්‍රාන්ති සමාජභාවීය පුද්ගලයා එලෙස නොවන බව දන්නා නිසාය. වෙනස් අනන්‍යතා සහිතවූවන්ට වෙනස්කොට සැලකීමට අවශ්‍ය ජාන ඕනෑවටත් වඩා සමාජයක් වශයෙන් අපට පවතින බැවිණි.

එමෙන්ම පසුගිය කාලයේදී ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රය කළඹාලීමට සමත් ප්‍රවෘත්තියක් වූයේ ගැහැණු ඇඳුම් හැඳගත් පිරිමියෙක් දඹුල්ල නගරයේදී මරා දමා ඇති පුවතයි. ගැහැණු ඇඳුම් ඇඳගත් පුරුෂයෙකු වීම හෝ, සංක්‍රාන්ති සමාජභාවීය පුද්ගලයෙකු වීම ගැන සමහර මාධ්‍ය හා වෙබ් අඩව් එම ප්‍රවෘත්තිය ඉදිරිපත් කළ ආකාරය මගින් මාධ්‍ය ආචාරධර්ම හා පුද්ගල සදාචාරය පිළිබඳව මාධ්‍ය තුළ ඇති අසංවේදීභාවය ප්‍රකට කළ බව නම් කිවයුතුය. අමුතු ඇඳුම් හැඳගත් තරුණයෙකු වන බව, ඝාතනය වූ පුද්ගලයාව මීට පෙර පොලීසිය විසින් අත්අඩංගුවට ගනුලැබ උසාවි ඉදිරිපත් කළ අයෙකු බවද දැක්වීමෙන් ඝාතනය සාධාරණීකරනය කිරීමට තරම් වෙබ් අඩවි නින්දිත තත්ත්වයට පත්වීම කණගාටුවට කරුණකි. එමෙන්ම මනුෂ්‍ය ඝාතනයක් පවා විකුණාගෙන කෑමට තරම් නින්දිත ලෙස මියගිය තරුණයාගේ ඡායාරූප, ඔහු හෝ ඇය විසින් කාන්තාවක ලෙසින් ඇඳගෙන සිටියදී ගනුලැබූ ඡායාරූප කොහෙන් හෝ සොයාගෙන පළකර තිබීම මගින්ද පැහැදිලිවන්නේ මාධ්‍ය ආයතනවල බංකොළොත්භාවය මෙන්ම තම මාධ්‍යකරණයේ සුජාතභාවය පිළිබඳව ඔවුන් තුළ ඇති නොසැලකිල්ලයි. එම අවස්ථාවේ ඔවුන්ට අවශ්‍ය වූයේ කෙසේ හෝ මෙම ප්‍රවෘත්තිය විකුණාගැනීමයි. එයට අලෙවිකරණ උපක්‍රමය ලෙස ඔවුන් යොදාගත්තේ ඔවුන් විසින්ම බොරකරගත් හොද්දට වෙනස් ලිංගික අනන්‍යතාවක් සහිතවූවෙක් පිළිබඳව වන ලුණු ඇඹුල් දැමීමයි. සමාජයක් වශයෙන් මෙන්ම එම සමාජයේ තනි ඒකක වන මිනිසුන් වශයෙන් අප කොතරම් නම් පහත් මනසක් සහිතවූවන්ද යන්න පැහැදැලි කිරීමට මීට වඩා උදාහරණ අවශ්‍ය නොවේ.

විවිධ ලිංගික අනන්‍යතා සහිතවූවන් හෙවත් සමරිසි, ද්විරිසි, සංක්‍රාන්ති සමාජභාවීය පුද්ගලයන් නීතියෙන් වරදක් බවට පත්කළේ බ්‍රිතාන්‍ය ජාතිකයින්ය. ඔවුන් දණ්ඩනීති සංග්‍රහයේ 365 හා 365 අ වගන්ති මගින් සමරිසිභාවය අපරාධයක් ලෙස හංවඩු ගසත්දී ඊට සමගාමීව ඉන්දියාවට 377 වගන්තිය මගින් සමරිසිභාවය අපරාධයක් බවට පත්කරන ලදී. 2000 වර්ෂය වන විට බ්‍රිතාන්‍ය ජාතිකයන් තම රට තුළ විවිධ ලිංගික අනන්‍යතා සහිතවූවන්ගේ අයිතිවාසිකම් පිළිගත් අතර වර්තමානය වනවිට ඔවුන්ට අවශ්‍ය සියලුම ආකාරයේ සමාජ වරප්‍රසාද ලබාදී තිබේ. ඒවා ලබාදීමෙන් එම ජනසමාජ විනාශවූයේ නැත. දිනෙන් දින එම රටවල් සංවර්ධනය වනවා විනා, ඔවුන්ගේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය වර්ධනය වනවා විනා විනාශවන්නේ නැත. එයට හේතුව අනෙකාගේ ලිංගික අනන්‍යතාවය ඔවුන්ට ප්‍රශ්නයක් නෙවෙන නිසා මෙන්ම ඒවා ගැන සොයාබැලීමට වඩා කිරීමට දේවල් ඔවුන්ට තිබෙන නිසාය. සමරිසි අයට අයිතිවාසිකම් ලබාදුන්නා කියා එම රටවල්වල ජනගහණය පාලනය වූයේද නැත. විවිධ සමාජ රෝග හෝ සමාජ බිඳවැටීම් සිදුවූයේද නැත. සිදුවූයේ අනෙකාට ගරුකිරීමට උගත් ජාතීන් වශයෙන් මානව සංවර්ධන දර්ශකවල හිණිපෙත්තට නැඟීමයි.

මෙම පූර්වාදර්ශවලට අනුව යමින් පසුගිය කාලයේ ඉන්දියානු ශ්‍රේෂ්ඨාධීකරණය ඓතිහාසික තීන්දුවක් ලබාදෙමින් ප්‍රකාශකර සිටියේ පුද්ගලයෙකුගේ ලිංගික දිශානතිය නැතහොත් තමා ලිංගිකව ආකර්ශනය වන්නේ කාහටද යන්න ඔවුන්ගේ පෞද්ගලිකත්වයට අදාළ කාරණයක් වන බවත්, කිසිවෙකු විසින් හෝ ඔවුන්ට එරෙහිව සිදුකරන ඕනෑම ක්‍රියාවක් යනු මිනිසුන්ගේ පෞද්ගලිකත්වයට එරෙහිව සිදුකරන හානියක් වන බවයි. නව දෙනනෙකුගෙන් යුත් විනිශ්චය මණ්ඩලයක් අවසානයේදී ඉන්දීය ශ්‍රේෂ්ඨාධීකරණ ප්‍රකාශයක් ලෙස කියා සිටින්නේ ලිංගික නැඹුරුතාවය මත කිසියම් පුද්ගලයෙකුට වෙනස්කොට සැලකීම ඔහුගේ හෝ ඇයගේ ස්වයං අභිමානයට හා වටිනාකමට සිදුකරන හානියක් ලෙස සැලකිය යුතු බවයි. ඒ අනුව ඉන්දීය ව්‍යවස්ථාවට අනුව මූලික අයිතිවාසිකමක් වන පුද්ගලික නිදහසේ අයිතිය නීතියෙන් සුරක්ෂිත කළ මානව හිමිකමක් වන අතර ඉන්දියාවේ වෙසෙන ලක්ෂ සංඛ්‍යාත සමරිසි, ද්විරිසි මිනිසුන්ට නීත්‍යානුකූලව තම ලිංගික අනන්‍යතාවය ඔවුන්ගේ රටේ ව්‍යවස්ථාව මගින් ආරක්ෂාවීමේ සතුට භුක්තිවිදිය හැකිය. ඉන්දියානු අධිකරණය කියා සිටින ආකාරයට පුද්ගලයින්ගේ පෞද්ගලිකත්වයට ඇති අයිතිය තුළ ඔවුන්ගේ ලිංගික නැඹුරුතාවයද පවතී (Sexual orientation is an essential attribute of privacy). ඉතාම නුදුරු දිනයකදී ඉන්දියාව සමරිසි, සංක්‍රාන්ති සමාජභාවීය අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පිම්ම පනිනු ඇත. ඒ වෙනුවෙන් ජීවිත පූජාකළ, දහඩිය මහන්සිය හෙළූ මානව හිමිකම් ක්‍රියාධරයින් ඇතුළු විවිධ ලිංගික අනන්‍යතා සහිත ප්‍රජාව එදිනට අභිමානයෙන් තම අයිතිවාසිකම් සමරනු ඇත.

එදිනටත් අප ඉන්දියාවෙන් අපට දායාද වූ සංස්කෘතිය කබල්ගාමින්, සංක්‍රාන්ති සමාජභාවීය ප්‍රජාව ඇතුළු විවිධ අනන්‍යතා සහිත ප්‍රජාවට වෙනස්කොට සලකමින්, ඔවුන් පෙරහැරවල්වල නටවමින්, ඔවුන්ට පොයන්නෙන් අමතමින් සිටිනු ඇත. ජයවේ ඉන්දියා!

තුෂාර මනෝජ්
උපුටා ගැනීම ලංකා නිවුස් වෙබ්

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twelve − 5 =

සබැඳි ලිපි

Back to top button
Close