සමාජ

පරණ පොටෝ ගොඩ දැමීම සහ අභිමානවත් ශ්‍රී ලාංකීයත්වයේ ලිංගික අපරාධ

ශ්‍රී ලංකාව කියන්නේ පරණ දේවල් ගොඩ දාන්න උපන් හපන් රටක්. සංස්කෘතික උරුමයේ ඉඳන් කුණු ගොඩවල් දක්වාම ගොඩ දාන්න මේ රටේ මිනිස්සු හරි දක්ෂයි. පොඩ්ඩ වැරදෙද්දී තව එකෙකුගේ ජාතකය ගොඩ දාන්න, ඕපාදූප ගොඩ දාගෙන කුණු රහ කරන්න, පරණ කෝන්තර ගොඩ දාගෙන ගහ මරාගන්න වගේම ඒ හැම දෙයක්ම අතරේ නම්බු කාර සංස්කෘතිය ගොඩ දාගෙන වන්සේ කබල් ගගා ඉන්න දක්ෂකම් දක්වන මිනිස්සු ඉන්න තවත් රටක් ලෝකේ තියෙනවද?

ඉතින් හැමෝම පොටෝ ගොඩ දාන අතරේ අපිත් හිතුවා පරණ පොටෝ ටිකක් එක්ක මතකය හාරා අවුස්සන්න. මොකද ආඩම්බර කාර සංස්කෘතියක සාඩම්බර හිමි කරුවෝ විදියට කවුරුත් මේ දේවල් ගැන කතා කරන්න කැමති නැහැ. හැබැයි අපි කතා නොකර ඉන්නේ නැහැ. මොකද මේක ඇත්තටම ගිණි ගෙඩි දෙන, දිය යටින් ගින්දර ගෙනියන, මරාගෙන කන, දූෂණය කරන, ඒවා ටීවී රේඩියෝ පත්තර වල විකුණන ම්ලේච්ඡ මිනිස්සු ඉන්න රටක්. හැම එකාගෙම හිත් වල කැත කුණු පිරිලා. ඉතින් මේවා හැරෙන්න උරුමය ගැන විතරක් ආඩම්බර වෙන්නේ ලබ්බකටද?

ලංකාව ස්ත්‍රී දූෂණයෙන් ලෝකයෙන්ම හොඳ නමක් දිනාගෙන ඉන්න එක ගැන ආඩම්බර වෙන්නේ නැද්ද?
එහෙනම් ගොඩ දැමීම පටන් ගමු….

සේයා සදෙව්මි ඝාතනය

කොටදෙනියාව පැත්තේ ඝාතනය වුන පුංචි කෙලි පැටික්කියෙක්. අමානුෂීක ලෙස දූෂණය කරලා තමයි ඝාතනය කරලා තිබුනේ. මේ ළමයාගේ තාත්තා, ළඟපාත ගෙදරක අවුරුදු 17ක කොල්ලෙක්, අසල්වාසියෙක්, දුනේෂ් ප්‍රියශාන්ත නැමති අයෙක් සැක කරුවෝ ලෙස අත්අඩංගුවට පත් වුනා. අන්තිමට වැරදි කරු වුනේ දුනේෂ් ප්‍රියශාන්තගේ අයියා. සේයා දුනේෂ්ගේ අයියා අතින් දූෂණය වෙලා ඝාතනය වුනත්, ලංකාවේ මාධ්‍ය වලින් සේයාගේ මළ සිරුර, නිරුවත යලි යලිත් දහස් වාරයක් දූෂණය කළා. සේයාගේ නිරුවත ඔවුන්ට වෙළඳ භාණ්ඩයක් වුනා.

යාපනයේ විද්‍යාගේ ඝාතනය

විද්‍යා සිසුවිය ඝාතනය සිදුවෙලා තිබුනේ 2015 මැයි මාසේ 03 වෙනිදා. ඒක ම්ලේච්ඡ සමූහ ඝාතනයක්. මේ ඝාතනයට ජාත්‍යන්තර සම්බන්ධයක් තිබිලා තියෙනවා. මොකද ඒ ඝාතනය කරන අයුරු වීඩියෝ කරලා විදෙස් රටකට විකුණන ජාවාරමකට සම්බන්ධයි කියලා අනාවරණය වෙලා තිබුනා. ඒ වගේම යාපනයේ විජයකළා මහේෂ්වරන් අමාත්‍ය තුමිය මේ ඝාතනයේ සැක කරුවන්ට ආරක්ෂාව සපයනවා කියලත් හෙළි වෙලා තිබුනා. ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට යාපනයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩුව විභාගයට ගැනුනා. සේයා මෙන්ම විද්‍යාගේ නිරුවතත් සිංහල විද්‍යුත් මාධ්‍ය වල වෙළඳ භාණ්ඩයක් විදියට අලෙවි වුනා.

මහේස්ත්‍රාත් සැකකරුවෙකුගේ බිරිඳ දූෂණය කරයි

හිටපු මහේස්ත්‍රාත් ලෙනින් රත්නායක මහව මහේස්ත්‍රාත්වරයා හැටියට සේවය කරද්දී තමා ඉදිරියේ විභාග වූ නඩුවක විත්තිකරුවකුගේ භාර්යාව කටඋත්තරයක් ලබා ගැනීමටයැ’යි කියා තානායමකට ගෙන ගොස් ලිංගික සංසර්ගයේ යෙදීම, තමා ඉදිරියේ විභාග වන නඩුවක විත්තිකාරියකට පිස්තෝලයක් පෙන්වා බියගන්වා ඇය දූෂණය කිරීම (1999 වසරේ) එවකට බොහෝ ප්‍රසිද්ධියකට පත් නොවුනත් ප්‍රසන්න විතානගේ මහතා විසින් මෙම සිදුවීම් ඇතුලත් කර නිර්මාණය කළ උසාවිය නිහඬයි වාර්තාමය චිත්‍රපටය මහත් ආන්දෝලනයක් ඇතිකළ චිත්‍රපටයක් වුනා.

කතරගම රූමතිය ඝාතනය

1971 අවුරුද්දේ දී ප්‍රේමවතී කතරගම බක්මහ අවුරුදු කුමරිය විදියට කිරුළු පැළඳුවා. ඒ කතරගම ගුණසිරි හෝටලය ඉදිරිපිට තිබුණු අවුරුදු උත්සවයේදී. බොහොම හැඩකාරියක් වුණු ඇය දිහා පිරිමින්ගේ දෑස් යොමුවුණේ ඉබේට ම. එවකට කතරගම පොලිසියේ ස්ථානාධිපතිවරයාත් මේ අතරින් එක්කෙනෙක්. ඔහු ඇයගෙන් තමන්ව ආශ්‍රය කිරීමට කැමැත්ත ඇසුවත් ප්‍රේමවතී ඊට අකමැති වීම නිසා නොකළ වරදක් ඇයට පටවමින් ඇයව අත්අඩංගුවට අරගෙන ඇයට පහර දී දූෂණය කර කැරලිකාරියක් ලෙස හංවඩු ගසමින් නිරුවතින් කතරගම ටවුම පුරා ඇවිදුවා අවසානයේ වෙඩි තබා ඇයව ඝාතනය කෙරුණා. ඒ 71 කැරැල්ල ඇතිවුණු කාලය නිසා තමන්ගේ පහත් ආශාවන් ඉටුකරගන්න ඒ ආකාරයෙන් ක්‍රියා කිරීම ඔවුන්ට පහසු වන්නට ඇති. ඇය ඝාතනය වන විට වයස අවුරුදු 22ක් වුනා.

LTTE මාධ්‍යවේදිනියක වූ ඉසිප්‍රියා ඝාතනය

විද්‍යා දූෂණය කරමින් ඇයව මරා දැමීම හා සමානවම වන්නියේ ඉගෙනුම ලබා පසුව එල්ටීටීඊ සංවිධානයේ සන්නිවේදන අංශයට බැදුණු සෝබා ඉසිප්‍රියා ඝාතනය විය. ඝාතනය කළේය. ඉසිප්‍රියා හමුදාව අතින් මිය ගිය (ඔහ් ඉසිප්‍රියා මට සමා වෙන්න.. හමුදා සෙබළුන් විසින් කුරිරු ලෙස මරා දැමූ) විමුක්ති කොටි සංවිධානය සමඟ සිටි තරුණ නිළියකි, ගායිකාවකි, ප්‍රවෘත්ති නිවේදිකාවකි, සියල්ලටම වඩා අහිංසක ප්‍රියමනාප තරුණියකි. එක්දරු මවක් වන ඉසිප්‍රියා ඒ වනවිටත් සිටියේ හමුදා ෂෙල් වෙඩි ප්‍රහාරයකින් 2009 මාර්තුවේදී තමන්ගේ එකම දරුවාද මරා දැමූ වේදනාවත් පොදි බැදන්ය. එපමණක් ද නොව 2009 වසරේම අවසන් කාලයේ සිය සැමියාද ඝාතනයට ලක්වූ වේදනාවන් සමගය. කෙසේ නමුත් එල්ටීටීඊ සන්නිවේදන අංශයේ මාධ්‍යවේදිනියකව ක්‍රියාකළ ඉසිප්‍රියා ඝාතනය වූයේ අහඹුවකින් නොවේ. ඇයගේ නිරුවත් නිසල සිරුරේ පහස විඳගත්තෝද නැතුවම නොවේ. යුද්ධයකින් ජයග්‍රහණයක් ඉතිරි නොවෙන බව අපේ සිංහල බෞද්ධයන් තේරුම් ගත යුතුය.

ක්‍රිශාන්ති කුමාරස්වාමි ඝාතනය

1996 වසරේ උසස්පෙළ රසායන විද්‍යා ප්‍රශ්ණ පත්‍රයට පිළිතුරු ලියා ගෙදර එමින් සිටියදී කයිතඩි හමුදා මුරපොලේ සෙබළුන් ඇයව නවතා තිබුනේ හැඳුනුම්පත විමසමින්. මුරපොළේ ප්‍රධානියාගේ අණ කිරීම මත ඇයව මුරපොළ ඇතුළට අරගෙන ආව හමුදා සෙබළුන් හත් අට දෙනෙක්, ඔවුන්ගේ තිරිසන් ආශාවන් තෘප්තිමත් කරගත්තේ, ඇගේ විලාපය ගැනවත් නොතකමින්. ඇගේ කටහඬ ඇහෙන මානයේවත් කිසි කෙනෙක් හිටියේ නැහැ. ඒ නිසා මුරපොළ ඇතුළේ වුණු දේ ගැන දන්නේ, එය වටේ තිබුණු බිත්ති හතර පමණයි. හවස හතර වෙද්දීත් ක්‍රිෂාන්ති නිවසට නාව නිසා, ඇගේ මව වන රාසම්මා තරමක් කලබල වුණා. තමන්ගේ දාසය හැවිරිදි පුතාවත්, එක්කරගෙන, ඇය මුලින්ම ගියේ කයිතඩි හමුදා මුරපොළ දිහාටයි. ඔවුන්ගේ අසල්වැසියෙක් වුණු සිදම්බරනුත් මේ ගමනට එකතු වුණා. ක්‍රිෂාන්ති ගැන කිසිම දෙයක් නොදන්නා බව මෙහි ඉඳපු හමුදා සෙබළු කිව්වේ, ඔවුන් අතින් කිසි ම දෙයක් නොවුණු ගානට. ඒත් රාසම්මා එයින් පසුබට වුණේ නැහැ.

දිගින් දිගට ම ක්‍රිෂාන්ති ගැන අහපු ඇයවත්, ඇගේ පුතාවත්, සිදම්බරනුත් මුරපොළ ඇතුළට ඇදගෙන ගිය හමුදා සෙබළුන්, ඔවුන්ගේත් මුව, අත පය ගැටගසා දැම්මේ සියල්ලම ලෝකෙන් වසන් කරන්න හිතාගෙනයි. පහුවෙනිදා උදේ 2.30 වගේ වෙද්දී, මේ අහිංසකයන් සිව්දෙනාගේ ම ගෙල සිර කර මරා දමාපු මේ ඝාතකයන්, නුදුරින් වුණු සොහොනේ ඔවුන් ව වළලා දැම්මා.

ඒත් මේ අපරාධය සහමුලින් වළලා දාන්න ඔවුන්ට ඉඩ ලැබුණේ නැහැ. මේ සිදුවීම වෙලා මාසයක වගේ කාලයක් ඇතුළත, ගැමියෙකුගේ ඔත්තුවකට අනූව ක්‍රිෂාන්ති ඇතුළු පිරිසගේ සිරුරු ගොඩ ගැනුණා. ඇසින් දුටු සාක්ෂි නැති වුණත්, වෙනත් සාක්ෂි පදනම් කරගෙන මේ අපරාධය කළ හමුදා සෙබළුන්ට දඬුවම් නියම වුණා.

කොබෙයිගනේ අවුරුදු කුමාරිය ඝාතනය

කොබෙයිගනේ ගම්මානයේ විසූ රූමතියක් වූ නිලන්තිගේ ඉරණමද කතරගම මනම්පේරිට නොදෙවෙනි වූ හද සසල කරවන පුවතක්.

දුප්පත් පවුලක ඉපදුණු තරුණියක් වන නිලන්ති ඇගේ ගමේ අවුරුදු කුමාරිය හැටියට කිරුළු පළඳින්නේ අවට සියල්ලන්ගේම නෙත් සිත් ඈ වෙත යොමු කරවාගනිමින්. මේ දහසකුත් ඇස් අතර ඒ ප්‍රදේශයේ පොලීසියේ ඕ.අයි.සී සමරකෝන් මහතාගේ දෑසද ඈ දෙසටම බැඳී තිබුණා. නිලන්ති පිළිබඳ ආදර සිතක් ඇති කරගන්නා මේ පොලිස් නිලධාරියා ක්‍රම ක්‍රමයෙන් ඇගේ ආදරය දිනා ගැනීමට දැළ එලන්නට පටන් ගන්නේ කෙසේ හෝ ඇයව හිමිකරගන්නා අදහසින්. විවිධ උපක්‍රම යොදාගෙන ඇයව නිතර හමුවෙමින් ඇවටිලි කරමින් අවසානයේදී නිලන්තිගේ හිත දිනාගන්නට මේ පොලිස් නිලධාරියා සමත් වෙනවා.

නිලන්තිගේ වයස ඒ වෙද්දි අවුරුදු 19ක්. සමරකෝන් පොලිස් නිලධාරියා 35වැනි වියේ පසුවූවෙක්. කෙහොම උනත් දෙදෙනා අතර මේ වයස් පරතරය නිලන්තිට ප්‍රශ්නයක් වන්නේ නෑ. ගමේ කාටත් රහසක් නොවූ ඔවුන්ගේ පෙම් සබඳතාවය නිදහසේ ගලාගෙන යන්න පටන් ගන්නවා. කාලයක් තිස්සේ ගලාගෙන ගිය මේ ආදර කතාවට කණකොකා හඬන්නේ පොලිස් පෙම්වතා නිසා නිලන්තිගේ කුසට දරුවෙක් පැමිණීමත් සමගයි.

පොලිස් පෙම්වතාගේ තීරණය වන්නේ දරුගැබ විනාශ කර දැමීමටයි නමුත් නිලන්ති එයට එකහෙළාම විරුද්ධ වෙනවා. ඇයව විවාහ කරගන්නා ලෙසට ඔහුගෙන් දිගින් දිගටම ඇය ඉල්ලනවා. මේ ගැන පොලිස් ස්ථානයට පවා යමින් නිතර ඇවටිලි කරන්න පටන් ගන්නවා. මෙය පොලිස් නිලධාරියාට ඉමහත් මානසික පීඩනයක් බවට පත්වෙද්දී ඉක්මනින් මේ කරදරය නිමාවක් කිරීමට ඔහු තිරව අදිටන් කරගන්නවා.

1989 වර්ෂයේ එක් දිනක නිලන්තිව හමුවන ඔහු ඇය රවටා කැටුව ගොස් වෙඩිතබා මරා දමන්නේ ඇගේ කුසේ සිටිනා තමන්ගේ ලෙයින් ජාතක වූ දරුවා ගැනද නොසිතමින්. භීෂණය රජකල ඒ යුගයේ ටයර් සෑයක් මත නිලන්තිගේ සිරුර දවන්නේ සාක්ෂි විනාශ කිරීමේත්, අපරාධය වෙනත් පාර්ශවයකට බැර කිරීමේත් අරමුණින්. කෙසේ වෙතත් ටයර් සෑයක මිනියක් දැවෙන ආරංචියෙන් එතැනට යන නිලන්තිගේ දෙමවුපියන් ඇගේ ගෙල පැළඳි සුරයක් ආශ්‍රයෙන් තමන්ගේ දියණියගේ මළසිරුර හඳුනාගනු ලබනවා. තම දියණියට සාධාරණයක් කිරීමට ඔවුන් තුල තිබූ දැඩි අධිෂ්ඨානය නිසාම පමාවී හෝ මිනීමරු පොලිස් නිලධාරියාට දඬුවම් ලැබෙනවා.

ඇඩ්ලින් විතාරණ ඝාතනය

1959 මාර්තු මාසයේ දිනක‍ තිඹිරිවැව ගම්මානයට කිට්ටුව විල්පත්තු අභය භූමියට හැරෙන තැනදී අඩනිරුවත් කාන්තා මළසිරුරක් සම්භවෙනවා. ඒ මාර්ගයේ ගමන්ගත් ලොරි රථ රියදුරෙක් තමයි මේ කාන්තා මළසිරුර මුලින්ම දකින්නේ. මළසිරුර අවට ලේ පැල්ලම් සහ ටයර් සළකුණු දකින්නට ලැබෙන අතර මළසිරුරේ ග්‍රීස් සහ තෙල් පැල්ලම් සටහන්ව තිබෙනවා. මරණ පරීක්ෂණ කටයුතු අතරතුර හෙළි වන්නේ මියගොස් ඇති තැනැත්තිය පස් මස් ගැබිණියක් බවයි.

මේ කාන්තාව පිළිබඳ අවට ගම්මාන වලින් විමසීමක් කලත් කිසිදු හෝඩුවාවක් හමුවන්නේ නැහැ. අබිරහස් ලෙස මරාදමා ඇති මේ රූමතිය පිළිබඳව එකල පුවත් පත් වලත් වාර්තා පිට වාර්තා පලවෙන්න ගන්නවා. මේ එක පුවතක් කන වැකුණු මවක් සහ දියණියක් අනුරාධපුර පොලිසිය සොයාගෙන එනවා. ඔවුන් කියා සිටින්නේ තමන් මියගිය කාන්තාවගේ මව සහ සොයුරිය බවයි. මරාදමන ලද කාන්තාවගේ ඇඳුම් ආයිත්තම් ඔවුන් විසින් හඳුනාගන්නා අතර නැවත ගොඩගන්නා ලද මළසිරුරද හඳුනා ගන්නවා. මරා දමා ඇත්තේ ඇඩ්ලින් විතාරණ නම් තරුණ එක්දරු මවක් හැටියට තොරතුරු හෙළි වනවා.

වැඩිදුර පරීක්ෂණ වලදී සැකය යොමු වන්නේ ජයලාල් ආනන්දගොඩ නම් ගුරුවරයෙක් වෙතටයි. ඔහුත් ඇඩ්ලිනුත් අතර පෙම් සබඳතාවයක් පැවතී ඇති අතර ඇඩ්ලින්ගේ පළමු දරුවාගේ පියා වන්නේද ආනන්දගොඩ නම් අයයි. තමන්ව විවාහ කරගන්නා ලෙසට නිතර කරන ඇවටිලි වලින් බේරෙන්නට ආනන්දගොඩ විසින් ඇඩ්ලින්ව මරාදමා ඇතැයි යන සැකය ඔස්සේ පරීක්ෂණ අරඹනවා. අපරාධයට ආසන්න දිනවල ඇඩ්ලින් සහ ආනන්දගොඩ එකට සිටිනවා ඇසින් දුටු සාක්ෂිද මීට බලපානවා. අලුතින්ම සර්විස් කරගෙන තිබූ ආනන්දගොඩගේ ‍ෆියට් මෝටර් රථය පරික්ෂා කිරීමේදී පොලීසියට එහි රැඳී තිබුණු කෙස් ගස් කිහිපයක් හමුවනවා. ලේ වැකුණු වාහනයේ අමතර රෝදයද ඔවුන් විසින් සොයාගනු ලබනවා. මේ ලේ සහ කෙස් ඇඩ්ලින්ගේම බව තහවුරු වීමත් සමග ආනන්දගොඩගේ දෑතට විලංගු වැටෙනවා.

ඇඩ්ලින් විතාරණ සහ මාස පහක් වයසැති ඇඩ්ලින්ගේ කුසේ බිළිඳාව වාහනයට යටකොට ඝාතනය කිරීමේ වරදට ජයලාල් ආනන්දගොඩට එල්ලුම් ගස නියම වෙනවා. 1962 ජුනි 21 වැනිදා බෝගම්බරදී ඔහුව එල්ලා මරණු ලබනවා

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × 3 =

සබැඳි ලිපි

Back to top button
Close