දැනුම

නූල කැඩෙනවා කියන්නේ මොකක්ද? මෙන්න හරියටම දැනගන්න

ඉංග්‍රීසියෙන් කිව්වොත් Frenulum of prepuce of penis සිංහලෙන් කිව්වොත් ශිෂ්ණ වාගිකාව කියන කොටස ගැනයි අපි මේ කතා කරන්න හදන්නේ. හැබැයි සිංහලෙන් කිව්වට තේරෙන්නේ නැතිනම් ශුද්ධ සිංහලෙන් කිව්වොත් පුරුෂ ලිංගික අවයවයේ ‘නූල’ කියන කොටස ගැන තමයි මේ කතාබහ.

(වාගිකාව) කියන්නේ මොකක්ද ?

මානව ශරීරයේ එහා මෙහා චලනය වන අවයවයක චලනය වීම සීමා කිරීම සඳහා පවතින කුඩා පටියක් වැනි කොටසක් තමයි වාගිකාවක් කියන්නේ. අපේ ශරීරයේ බොහෝ තැන් වල මේ වාගිකා පිහිටලා තියෙනවා. ආහාර මාර්ග යේ බඩවැල් (අන්ත්‍ර) වල, කාන්තාවන්ගේ ලිංගික අවයව අසල වගේ තැන් උදාහරණ කිහිපයක් විතරයි. වාගිකාව කියන්නේ මොකක්ද කියලා හරියටම අපිට අවබෝධයක් ගන්න පුළුවන් හොඳම තැන තමයි අපේ දිව. දිව පොඩ්ඩක් උස්සලා බලනකොට අපිට පේනවා යටි තල්ල හා දිව සම්බන්ධ කරන කුඩා පටියක් වැනි කොටසක්. අන්න ඒ කොටසත් වාගිකාවක්.

වාගිකාව එහෙමත් නැත්නම් frenulum කිව්වට නොදන්නවා වුනාට නූල කිව්වම කවුරුත් දන්නේ පිරිමි පුරුෂ ලිංගයේ පිහිටන කොටස. අන්න ඒ කොටසින් තමයි ශිෂ්ණයේ පෙර සම කොටස ඕනෑවට වඩා පිටුපසට යන්නට නොදී චලනය පාලනය කරන්නේ. නූල කියන කොටස ඇදෙන සුළු ඉලාස්ටික් ස්වරූපයක් ගන්නවා. පෙර සම ශිෂ්ණ මුණ්ඩයෙන් පස්සට කලාම නූල ඇදීමකට ලක්වෙනවා. ඒ වගේම ශිෂ්ණය සාමාන්‍ය විදියට තියෙද්දී නූලේ එක් කෙරවලක් ශිෂ්ණයේ බැඳ කොටසට (shaft) සම්බන්ධව පිහිටනවා. අනිත් කෙරවල ශිෂ්ණයේ පෙර සම යටිපත්තේ කෙලවරට සම්බන්ධ වෙනවා.

නූල හෙවත් වාගිකාව (Frenulum of prepuce of penis)
නූල හෙවත් වාගිකාව (Frenulum of prepuce of penis)

නූල කැඩෙනවා කියන්නේ මොකක්ද?

මේක කොල්ලන්ට තියෙන දැවෙන ප්‍රශ්න වලින් එකක්.

වාගිකාව කොටස ලිංගික එක් වීමකදී කැඩීමට ලක්වෙන්න පුළුවන්. හැබැයි අනිවාර්යයෙන් කැඩීමට ලක්වෙනවා කියලා කියන්න බැහැ. ඇත්තටම නූල කැඩෙනවා කියන්නේ ඒක. හැබැයි කොල්ලෝ කියන තරම් ඕක කඩා ගන්න එක හෝ ඉබේ කැඩෙන එක සරල දෙයක් නම් නෙමෙයි. වාගිකාව කැඩුනොත් සමහර විට ඉස්පිරිතාලේ ඇඳක සතියක් විතර ඉන්න සිද්ධ වෙන වැඩක් වෙන්නත් පුලුවන්. වාගිකාව කැඩෙන්නේ බොහෝ විට hard and deep sex වලදී. ඒ කිව්වේ ආවේගකාරී වේගවත් ලිංගික එකතු වීමකදී හෝ ගුද මාර්ගයේ සංසර්ගය වැනි දෙයකදී. හැබැයි හුඟක් අය හිතාගෙන ඉන්නවා ස්වයං වින්දනයෙන් නූල කැඩෙනවා කියලා. ඒත් එහෙම වෙන්න පුළුවන් සම්භාවිතාවය බොහොම අඩුයි.

නූල නොකැඩුනොත් ප්‍රශ්නයක් ද?

හැමෝගෙම නූල කැඩෙන්න ඕනේ කියලා නීතියක් නැහැ. නූල කඩුනත් නැතත් ලිංගික ක්‍රියාවල යෙදෙන්න ඒක ගැටළුවක් නැහැ. අපි අර කලින් කිව්වා වගේ නූල කැඩුනොත් බරපතල තත්වයක් ඇතිවෙන්න පුළුවන් සමහර විට. ඒත් සමහරුන්ට එහෙම බරපතල නොවෙන්නත් පුළුවන්. සමහරු නූල කියන කොටස සැත්කමකින් ඉවත් කරගත්තු අවස්ථාත් තියෙනවා. ඒක එක එක පුද්ගලයාගේ කැමැත්ත. කොහොම වුනත් මේක බොහොම ස්වභාවික පිහිටීමක්. ඒ නිසා කැඩුනා හෝ කැඩුනේ නැහැ කියලා මානසිකව තැවෙන්න ඕන දෙයක් නෙමෙයි මේක.

වාගිකාව සැත්කමකින් ඉවත්කළ පසු
වාගිකාව සැත්කමකින් ඉවත්කළ පසු

පෙර සම පස්සට කරන්න බැරිවෙන්නේ නූල නිසාද?

ලංකාවේ තියන ලිංගික අධ්‍යාපනයේ තරම කියන්නේ, බොහෝ අය හිතාගෙන ඉන්නවා පෙර සම කියන කොටස තමයි මේ නූල කියන්නේ කියලා. පෙර සම කියන්නේ එකක්, නූල කියන්නේ තව එකක්. පුරුෂ ලිංගයේ ව්‍යයුහය ගැන අපි කලින් කතා කළා. මෙතැනින් ඒ සටහන ඔබට කියවන්නට පුළුවන්.

සාමාන්‍ය පිරිමියෙකුගේ පෙර සම ශිෂ්ණ මුණ්ඩය පසුකරමින් ශිෂ්ණ බඳ දක්වා සහ ඊට ටිකක් පහලට පසුපසට කරන්න පුළුවන්. හැබැයි නූල කියන කොටස කැඩිලා හෝ ඉවත් කරගෙන නම් පෙර සම ඊට වඩා පසුපසට කරන්න පුළුවන් වෙනවා.

පෙර සම ශිෂ්ණ මුණ්ඩයෙන් පසුපසට කිරීමට නොහැකි වීම phimosis තත්වයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ ගැන ඉදිරි ලිපියකින් වෙනමම කතා කරමු.

Frenulum breve තත්වය

ශිෂ්ණයේ නූල කියන කොටස ඉතා කෙටි වුනාම මෙම තත්වය ඇතිවෙනවා. එතකොට ලිංගික එක්වීමකදී පුරුෂයාට අපහසුතා ඇතිවෙන්න පුළුවන් වගේම නූල කොටසට යම් යම් හානි වීම්, තුවාල වීම් වෙන්නට පුළුවන්. මෙම තත්ත්ව සැත්කම් මාර්ගයෙන් හෝ ස්වයං ව්‍යායාම මගින් සමනය කරගන්න පුළුවන් වෙනවා.

Frenulum breve තත්වය
Frenulum breve තත්වය

ඡායාරූප – විකිපීඩියා විශ්වකෝෂයෙන් (wikipedia.org)

Tags

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 + seventeen =

සබැඳි ලිපි

Back to top button