සමාජ

පොන්න වංශයේ ඉතිහාස කතාව

පොන්න යන පදය වර්ථමාන සිංහල බසෙහි යොදාගන්නේ ලිංගික අප්‍රාණිකත්වය සහ ස්ත්‍රිත් නොවන පුරුෂත් නොවන ද්වීලිංගික මනුෂ්‍යයින් හැඳින්වීම සඳහාය. පොන්න යන පදය පොන්නයා, පොන්නකම, පොන්න වැඩ, පොන්න පාට්, පොන්න විදිය, පොන්න ඇඩ් ආදී ලෙස සමාජයේ භාවිත වෙයි. සාමාන්‍ය ව්‍යවහාරයේ මේ පොන්න යන පදය යෙදෙන නමුත් එය නරක වචනයක් ලෙස සමාජයේ හඳුන්වයි. සිංහල සමාජයේ කුඩා දරුවන් කතා නොකල යුතු පදයක් ලෙසද පොන්න යන වදන හැඳින්වෙයි.

පොන්න යන පදයට එලෙස නපුංසක හා ඒ සම්බන්ධ අර්ථයක් පැමිණීම නම් අරුම පුදුම කාරනාවකි. වෙනත් සිංහල කුණුහරුපයක් ඉංගිරිසි වදනින් ලියා ගූගල් සෙවුමක් කල විට (උදා:-පෙට්ටිය-Pettiya) ලැබෙන ප්‍රථිපලය බොහෝවිට ලංකාවේ අය විසින් විවිධ තැන්හිදී කුනුහරුපෙන් බැනගෙන ඇති අවස්ථාවන් දකින්නට ලැබේ. ඒ අතර අසභ්‍ය අඩවිද බොහෝ විට දකින්නට ලැබේ. නමුත් මේ පොන්න(Ponna) යන වදන ඉංගිරිසියෙන් සොයා බැලූ විට ලැබෙන්නේ විවිධාකාර ප්‍රථිපලයන්ය. ඉන්දියාවේ පොන්න නමින් ස්ථාන කිහිපයක්ම ඇති අතර ඉතාලි උප නගරයක්ද Ponna ලෙස දැක්වේ. ඉන්දියාවේ තරමක් පැතිරුන පෙළපත් නමක් ලෙසද පොන්න යන නම දැක්වේ. ඉන්දීය ඉතිහාසයේද පොන්න නමින් පතල කවියෙක්ද සිට ඇත.

පොන්න යනු ඉන්දියාවේ ජනප්‍රිය වී ඇති නමකි. ජෝන් ඩොයිලිගේ දිනපොතේ සඳහන් වන අන්දමට එක් අවස්ථාවක “මරක්කල, වෙල්ලාල, පදු, පොන්න ආදී මිනිසුන් රැසක් යුද්ධයේදී සිරභාරයට ගැණුනු ලන්සි මිනිසා විසින් පුරුදු පුහුනු කරනු ඔවුහු දුටුහ.” යි ඔත්තුකරුවෙකු විසින් කියන ලද වාක්‍යයක් සටහන් වෙයි. මෙහිදී මරක්කල ලෙස හැඳින්වෙන්නේ මුස්ලිම් ජාතිකයින් පිරිසකි. වෙල්ලාල නම් වූ කුලයක් ඇතැයිද මා අසා ඇත. එවිට පොන්න යනු එවැනිම ජන කොටසක් හෝ ගෝත්‍රයක් විය හැකිය.

නුවර යුගයේ කුණ්ඩලාභරනයක් වහලකට වැටීම සහ එයට දෙදෙනකු පොරකෑමේ සිද්ධි දෙකක් සඳහන් වෙයි. එයින් එකකදී මහවැලි ගඟ අසල කුණ්ඩලාභරණය එනතෙක් අහස දෙස බලමින් කූඩාරම් ගසාගෙන සිටි ප්‍රකට නැකැත් කරුවන්දෙදෙනාගෙන් එක් අයකුගේ පෙළපත් නාමය පොන්න වේ. පොන්නා හෝ පොන්න හෝ පොන්නයා යන නමින් හැඳින්වුන ඔහු සිකුරු ගෙන් පැමිණි මේ ග්‍රහක කැබැල්ලක් යැයි සැලකෙන ලෝහ කැබැල්ල අල්ලා ගත් හෙයින් එයින් මතු මේ පොන්නා සිකුරා රාජපති ලෙස හැඳින්වූ බව පොත පතේ සඳහන්ය.

කොත්මලේ ගණිතයා ලෙස හැඳින්වූ මෙ පොන්නා නැකැත්තා ගේ පරපුරේ පුස්කොල පොතක් අදද ඒ සිකුරාරාජපති නිවෙසක ඇති බවත් එහි මලයාලම් සහ ද්‍රවිඩ අක්ෂර සහිත පොන්නා නැකැත්තා විසින් ලියන ලද නක්ෂත්‍රය සම්බන්ධ කාරණා එහි ඇතිබවත් කියවේ. ඒ පොතේ ඇති අකුරු මලයාලම් හෝ ද්‍රවිඩ බසින් ලියවී ඇති නිසා පොන්නා යන නැකැත්තා ඉන්දියාවේ සිට පැමිණි අයෙක් හෝ ඉන්දීය ශාස්ත්‍රයන් හැදෑරු අයෙකු බව අපට නිගමනය කල හැක.

ඒ අනුව ඒ පොන්න නැකැත්තා විසින් වැදගත් අනාවැකි කිහිපයක්ම කියා ඒවා පසුකලෙක සාර්ථක වී තිබෙන බවද අපිට දැකගන්නට පුලුවන. නමුත් වසර සිය ගනනක් පැරණි පුස්කොල පොතක් පුද්ගලික නිවසක පුද්ගලයකු සන්තකව තිබීමට මට නම් පුදුමයට කරුණකි. තාක්ෂණයක් ඇතැයිද වටිනා ගණිතය සම්බන්ධ දේ එහි ඇතැයිද සිතමින් එයට වඳිමින් තිබෙන්නට හරින්නේ නැතිව එය නිසි බළධාරින් ලබාගෙන කියවා එහි ඇති වැදගත් දෙයක් වෙත්නම් එය බෙදාගැන්ම පුරාවිදු බළදාරින්ගේ වගකීමයි. ඔය කියන පුස්කොල පොත පසුකලෙක පරපුරේ අය විසින් සොයාගත් ව්‍යාජ එකක් වන්නට හැකියාවක්ද ඇත. කෙසේ වෙතත් එය තවදුරටත් සංරක්ෂනයක් හෝ අඩුතරමේ පිටපත් කිරීමක් වත් නැතිව එතැනම තිබෙන්ට හැරීම නම් ඒ පොතට කරන අගෞරවයකි.

මේ පොන්න නැකැත්තා ගැන විස්තරයක් දුටුගැමුනු රජතුමාගේ කොත්මලේ අවධිය ගැන කියවෙන ජනප්‍රවාද වලද කියවේ. ඒ කොත්මලේ ගැමුණු කුමරු සැඟවී සිටි අවධියේදී ගැමුණු කුමරු දුටු සිහිනයක් විස්තර කර දෙන්නේ පොන්න නැකැත්තා විසින් යැයි කියනු ලැබේ. මේ ගැමුණු කුමරු සිටි අවධියෙන් අවුරුදු දහස් ගනනක් ගිය තැන යලිත් ඒ කොත්මලා ප්‍රෙද්ශයේම නුවර යුගයේදී විසූ පොන්නා වරුද නැකැත් බැලීමේ දක්ෂයෝ වූහ. එක්කෝ පොන්නා යනු දීර්ඝ ඉතිහාසයක් ඇති පරම්පරාවක් විය යුතුය. නැතහොත් පොන්නා වරුන් විටින් විට ලංකාවට පැමිණි ඉන්දීය ශාස්ත්‍රඥයින් පිරිසක් විය හැකිය.

පොන් යනු ද්‍රවිඩ බසින් රත්‍රන් හඳුන්වන නමක් යැයිද එය රත්‍රන් හා සම්බන්ධ කුලයක් යැයිද මතයක් ද පවතී. පොන්න යන පදය බොහෝවිට සිංහල ශාස්ත්‍රිය ලිපි ලේඛන වලදී නොයෙදෙන ග්‍රාම්‍ය යැයි සැලෙකෙන කථන ව්‍යවහාරයේ යෙදෙන පදයක් නිසා පොන්න යන පදය නපුංසක ස්වභාවය දැක්වීමට යෙදෙන්නේ මන්දැයි ඉතිහාසගත තොරතුරු සෙවීම අපහසුය. ඉතිහාසයේ එක්තරා පොන්න නම් වූ පෙළපතක් ඉතාම යටහත් පහත්ව(දීගෙන) නපුංසකයින් පරිදි අවඥාසහගතව සිටි නිසා ඔවුන් පසුකලෙක උදාහරණ බවට පත් වී පොන්න යන පදය එසේ නපුංසකයින් හැඳින්වීමට යෙදුනා වන්නට ද පුලුවන. නමුත් එසේ නොවී ඒ වචනය ලංකාවට විවිධ දේශ දේශාන්තර වලින් පැමිණ අප සමග මිශ්‍ර වූ වෙනත් බසක ආභාෂයෙන් අපේ බසට එකතු වූවා වන්නටද පුලුවන.

කෙසේ වෙතුදු යමෙකු තවත් අයෙකුට පොන්නයා යැයි බනී නම් එසේ බැනුම් අසන ලද තැනැත්තාට පොන්න යනු පහත් ජාතියක් නොවේය. ඉන්දියාවේද වැදගත් පොන්න වරුන් සිටින බවද ලංකාවේද අති දක්ෂ පොන්න නැකැත්කරුවන් ඉතිහාසයේ සිටි බවද සිතා තමාද එවැනි පොන්න යෙකු ලෙස හැඳින්වීම ගැන යටි සිතින් සතුටුවීමට හැකිය.


අන්සතු දිනපොත blog අඩවිය ඇසුරින්

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen − 15 =

සබැඳි ලිපි

Back to top button
Close